පොදු ජන අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය යෝධ ශක්තියෙන් ආණ්ඩුව සන්නද්ධ බවත් කුමන බලවේග අභිමුව වුවද තැබූ පය ආපසු ගැනීම තම ප්‍රතිපත්තිය නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අලුත් බලවේග ගොඩනැගීමේ අවශ්‍යතාවක් රටේ නොපවතින බව පැවසූ ජනාධිපතිවරයා ජාතික මැති වරණ දෙකකින් පරාද වූ දේශපාලඥයකුට අලුත් බලවේග ගොඩනැගිමට උත්සාහ දැරීම හාස්‍යට කරුණක් බව අනාවරණය කළේය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කිළිනොච්චියේදී ඊයේ (18) ශ්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කාර්මික පුහුණු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ප්‍රදර්ශන කුටි නැරැඹීමට එක් වීමෙන් පසු සමරු පොතේ සිය අත්සන සනිටුහන් කළ ජනාධිපතිවරයා උත්සව සභාවට සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

“විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතාගේ අදහස් දැක්වීමට මම තවත් යමක් එක් කළ යුතුයි. වසර 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තා. ඒ අලුත් ආණ්ඩුව පත් කරන්න ජනතාව ඡන්දය දුන්නේ අපි ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයනයට අනුවයි. අපි ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ සියලු කරුණු සාර්ථක කර ගැනීමට මම කැප වෙනවා. සමහර අය අලුත් බලවේග හදන්න යන බව පවසනවා. අලුත් බලවේග හදන්නේ කුමක් සඳහාදැයි මම ඒ අයගෙන් අසනවා. මම තවත් අඩියක් ඉදිරියට යන කෙනෙකු මිස අඩියක් පසුපසට යන කෙනෙක් නොවෙයි. මේ රටේ තිබෙන ප්‍රශ්න මොනවාදැයි සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි. මේ රටේ ජාතික සමඟිය ඇති කිරීමට සෑම කෙනෙකුම කැප වෙන්න ඕනෑ. මේ රටේ සිටින සිංහල බෞද්ධ ජනතාවට නිදහසේ සතුටින් සිටීමට නම් සියලු ජන කොටස්වල ප්‍රශ්න තේරුම් ගෙන ඒවා විසඳන්න අවශ්‍යයි.

මේ රටේ උතුරේ ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බව තේරුම් ගත යුතුයි. මේ රටේ ජාතින් අතර ඇති ප්‍රශ්න රැසක් අපි තේරුම් ගත යුතුයි. කොළඹට වී මාධ්‍ය එක්ක එක් වී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉන්න පිරිසක් ඉන්නවා.

ඒ අය කොළඹට සීමා වෙලා. ඒ අය මාධ්‍ය වීරයන්ව සිටිනවා. නමුත් වීරයන් උතුරට පැමිණ උතුරේ ජනතාවගේ ප්‍රශ්න මොනවාදැයි තේරුම් ගන්නේ නැහැ. ඒ අය නැඟෙනහිරට ගොස් ජනතාව සමඟ සාකච්ඡා කර ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නේ නැහැ. දකුණේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය කරුණු තේරුම් ගන්නේ නැහැ.

ජාතික සංහිඳියාව පිළිබඳ පාඩමක් ඉගෙන ගන්නැයි අලුත් බලවේග හදන අයට මම කියනවා. ඒ අය ආණ්ඩු කරද්දී කටයුතු කළ ආකාරය අපි මැනවින් දන්නවා. රටවල ආණ්ඩු කිරීමේදී පක්ෂ හැදූ නායකයන් අපි දැක තිබෙනවා. නිදහස් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හදා ආණ්ඩු හැදූ නායකයන් අපි දැක තිබෙනවා. අලුත් ආණ්ඩුවක් හදන්න අලුත් දේශපාලන බලවේගයක් හඳන්න රට පිළිගත් අවංක, දූෂණයනේ, වංචාවෙන් තොර නායකයන් බිහි වෙන්න ඕනෑ. මේ කාලය සැලකිමේ දී අද දවසේ එවන් අවශ්‍යතාවක් රට තුළ තිබෙන බව අපි දකින්නේ නැහැ. පසුගිය වසරේ ජනවාරි 08 වෙනිදා අපි ආණ්ඩුව භාර ගත්තේ එම අඩුව සම්පූර්ණ කරන්නයි. ජාතික මැතිවරණ දෙකකින් පරාද වූ මිනිස්සුන්ට මේ රටේ අලුත් බලවේග හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රට සංවර්ධනය කර, ජාතික සමගිය ගොඩනඟා ජාතින් අතර මිත්‍රත්වය ගොඩනඟා හොඳ රටක් හදන්න අපි කැප වෙනවා.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදා ගෙන යන විට ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කරනවා. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳන්නේ රට කඩන්න බෙදන්න නොවෙයි. මේ රට එකට තබාගෙන ජාතීන් අතර සමගිය ගොඩනඟන්නයි. මේ රටේ ජනතාව නොමඟ යවන්න එවැනි අසත්‍ය ප්‍රකාශ කරන්න එපා යැයි මම ඒ අයට කියනවා.

ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමට මම අවංකව කැප වෙනවා. ඒ ජාතික සංහිදියාව ශක්තිමත් කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව මම මැතිවරණ ප්‍රතිඥාවක් දුන්නා. ඒ සියලු ප්‍රතිඥා මම ඉටු කිරීමට මම කැප වී සිටිනවා.

සමහර අය බලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මම ඒ අයගෙන් අසනවා. දූෂණයට, වංචාවට, හොරකමටදැයි මම අසනවා. ප්‍රජාතන්ත්‍රවාදය මූලික මිනිස් අයිතීන් සුරක්ෂිත කිරීමට ඒ අය විරුද්ධ දැයි මම අසනවා. අපි සැම කෙනෙකුම සත්‍ය සහ අවංක ලෙස ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. රට සහ රටේ ජනතාව වෙනුවෙන් කැප වෙන්න ඕනැ. වැරැදි අඩුපාඩු තිබේ නම් ඒවා හදාගන්න ඕනෑ. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළත් කර සංහිඳියාව විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම් කරන්න ඕනෑ. අධ්‍යාපන සැලසුම් සහ ප්‍රතිපත්තිවල සංහිදියා ප්‍රතිපත්ති පිළිබඳ විෂය ක්ෂේත්‍රයට ඇතුළත් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY