පළාත් පාලන ආයතනවල කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙනයාමට අවශ්‍ය  පුර්ණ සහය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලබා දෙන බව  අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

කවුරුන් කුමන චෝදනා එල්ල කළ ද කොළඹ මහ නගර සභාවේ පාලනය බිඳවැටී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොළඹ ඩෙංගු රෝගීන් ඉහළයාම පිළිබඳව අද(04) පෙරවරුවේ කොළඹ මහ නගර සභාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

බස්නාහිර පළාත් සභාව සමග සම්බන්ධීකරණයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරි මාස 09 තුළ කොළඹ වාණිජ නගරයේ සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ජුනි මාසයේ ඉහළගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම මාසය තුළදී සියයට 25කින් අඩු කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක කරන ලෙසට ෆයිසර් මුස්තාෆා මහතා විසින් නිලධාරීන්ට එහිදී උපදෙස් ද ලබා දී තිබේ.