නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ලොකු ම බාධාව එල්ල කිරීමට අර අඳිමින් සිටින්නේ වරින් වර හිස ඔසවන පැරැණි බලවේගයේ ම නූතන මුහුණුවර මිස අන් කිසිවක් නොවේ. සුනාමි ව්‍යසනය පැමිණි මොහොතෙහි එයින් සිදුවූ විනාශය වළක්වා ගැනීම සඳහා විපතට පත් රටවලට අනෙක් රටවලින් විශාල වශයෙන් ආධාර ලැබිණි. ලොව ඇතැම් රටවල් විනාශය මතින් නැවත හිස එසවීම සඳහා මෙය අවස්ථාවක් කර ගත්තේ ය. ඉන්දුනීසියාවට අයත් බණ්ඩා අචේ ප්‍රාන්තය එකඟතා ලියැවිල්ලක් මඟින් ප්‍රාදේශීය පාලනයක් සඳහා අවශ්‍ය බලතල ලබා ගනිමින්, විනාශය වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත් කර ගත්තේ ය. ලේ ගැලීමකින් තොර ව අර්බුදය නිමාවට පත් විය.

“බටහිර වුවමනා මත රට බෙදීමේ හා බුද්ධාගමට තැන නැති කිරීමේ ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙමින් පවතී.” මෙය බලගතු චෝදනාවකි. මෙය සටන් පාඨයක් කර ගනිමින් රට ගිනි තැබීමේ උත්සාහයක යෙදෙමින් සිටින පිරිසක් කරළියට පැමිණ සිටී.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර නිවේදනයක් නිකුත් කිරීමට ද අග්‍රාමාත්‍ය කාර්යාලයට සිදුවිය. නිර් ආගමික ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳ චෝදනාව මෑතකදී එල්ල කරන ලද්දේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසිනි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයෙහි මුල් පියවර වන මහජන අදහස් විමසීමේ කමිටුවේ ප්‍රධානී අධිනීතිඥ ලාල් විජේනායක එම චෝදනාවට පිළිතුරු දී තිබිණ. කෙසේ වුව ද පරාජිත දේශපාලන පාර්ශ්වයට සේවය කරමින් සිටින බොහෝ ජනමාධ්‍ය නව ව්‍යවස්ථාව ගෝනි බිල්ලකු ලෙස මහජනතාව ඉදිරියේ මවා පෑමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටිනු පෙනේ. එමෙන් ම නහුතයක් දූෂණ වංචා හා අපරාධ චෝදනා ඇති පන්සල් පාළුවෝ ගම්බද ජනයා බියට පත් කර තම අරමුණු කරා මෙහෙයවීමේ නිරත වී සිටිති.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යනු ඉතිහාසයේ මෙතෙක් නිවැරැදි කරගත නොහැකි වූ බලගතු ම වරදක් නිවැරදි කර ගැනීමකි.

1931,1947,1972,1978,2000 යනු ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ වැරදුණු තැන් ය. එම සෑම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් ම මහජන සහභාගිත්වයෙන් තොර විය. මේ නිසා ව්‍යවස්ථාව පිළිබඳ විශ්වාසයක්, හා අවබෝධයක් නොමැති විය. ඔවුන්ගේ අභිලාෂ එහි පිළිබිඹු නොවී ය.

දෙවැනි කරුණ වන්නේ බහු ජාතික හා සංස්කෘතික විවිධත්වයෙන් යුතු රටක් හැටියට එම විවිධත්වය පිළිගැනීම ව්‍යවස්ථාව මඟින් ඉටු නොවීම ය. දෙවැනි අඩුපාඩුව මඟ හැරවීම සඳහා දරන ලද සෑම උත්සාහයක් ම සිංහල මහෝත්තමවාදය විසින් පරාජයට පත් කරන ලදී. භික්ෂු සංස්ථාව සහ එහි සේවනය ලබමින් බලය තහවුරු කර ගන්නා දේශපාලන සංස්ථාව මේ මතවාදය පෝෂණය කළේ ය. එහි ප්‍රතිපලය වූයේ දිග් ගැසුණු යුද්ධයකි. විශාල මිනිස් සංහාරයකි. දේපළ විනාශයකි. උතුරේ කැරැල්ල පරාජයට පත් කිරීමෙන් පසුව වසර 7 ක් ගත වී තිබියදීත් වරද නිවැරැදි කර ගැනීමේ අවස්ථාව තවම නොලැබිණ. ඒ සඳහා දරමින් තිබෙන උත්සාහය ද මුල් වටයේදී ම පරාජය කිරීම දුෂ්ට බලවේගවල අපේක්ෂාව වී තිබෙනු පෙනේ.

යුද්ධය නිමාවට පත් කිරීමෙන් පසුව, අපි දිනුවා යැයි ජය පැන් බොන මානසිකත්වයෙන් දකුණේ ජන සමාජය හිරිවට්ටනු වෙනුවට, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් කළ යුතුව තිබුණේ ඉතිහාසය පුරා සිදුවූ වරද නිවරද කිරීම ය. මහින්ද චින්තනය උත්කර්ෂයට නැංවූ ශාස්ත්‍රීය පර්යේෂිකාවක වන ආචාර්ය මාලිනී ඇඳගම මෙසේ ලියා ඇත.

“මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ වහාම රට මුහුණ පා තිබෙන ව්‍යසනය පරාජය කොට ජාතිය ගොඩනඟා ගැනීම සඳහා ඉටු කළ යුතු ප්‍රථම කාර්යය වශයෙන් එක් අතකින් විනාශකාරී ම්ලේච්ඡ ත්‍රස්තවාදය සමූලඝාතනය කිරීම සඳහාත් අනෙක් අතට අපට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහාත් පියවර ගෙන ඇති ආකාරය ප්‍රශංසනීය වේ. මෙරට ජනතාව ශක්තිමත් කිරීම සඳහා එංගලන්තයේ බලය බෙදා හැර ඇති ආකාරයේ ආණ්ඩු ක්‍රමයක් සම්පාදනය කිරීම ගැන සැලකිලිමත් වන බව ද ඔහු වරක් ප්‍රකාශ කර ති‍බිණි.”

ජනතාව වෙත බලය පැවරීම සඳහා වඩා උචිත අපේ ගම් සභාවද? ඉන්දීය පංචායක් ක්‍රමය ද – මාලනී ඇඳගම – පෙරවදන ඓX) එහෙත් හිටපු ජනාධිපතිවරයා කළේ යුද ජයග්‍රහණයෙන් උද්දාම වෙමින් රණවිරු වන්දනාව ඔස්සේ අර්ධ මිලිටරි රාජ්‍යයක් පවත්වාගෙන යෑම ය. තමා පොරොන්දු වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු වෙනුවට 18 වැනි ව්‍යවස්ථාවෙන් බලතල වැඩි කරගෙන තෙවැනි වරටත් ජනාධිපති ධූරයට තරග කිරීමේ අවස්ථාව ලබා ගැනීම ය. තමන්ගෙන් පසු දරු පරපුරට රාජ්‍ය බලය ලබාදීමේ අරමුණෙන් කටයුතු කිරීම ය. ඊට එරෙහි වන කටවල් හොඳින් හෝ නරකින් වැසීම ය.

මෙහිදී රට ජාතිය හා බුද්ධාගම මන්තරය ජප කිරීම ද, සකලවිධ අශිෂ්ටකම් භික්ෂුන් ගේ ආශිර්වාදයෙන් යටපත් කර ගැනීම ද සිදුවිය. ඊට එරෙහි භික්ෂු බලවේග කුඩු පට්ටම් කිරීම සඳහා ‘බලු සේනා’ පාරට දමන ලදී.

තමා විසින් ම පත් කරන ලද සර්ව පාක්ෂික කමිටුවේ බහුතරයේ යෝජනා ද උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා ද කුණු බක්කියට දමන ලදී. නව ව්‍යවස්ථාව සිහිනයක් පමණක් විය.

සියලු ජාතීන්ගේ බහුතර කැමැත්තෙන් නව ආණ්ඩුවක් පත් කිරීමේ අභිලාෂයෙහි මුඛ්‍ය අරමුණක් වූයේ ඒකාධිපතිත්වයට පාර කැපූ ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවකි. ඉතිහාසයෙහි පළමු වරට පස මිතුරු පක්ෂ දෙකක සම්මුතියක් ගොඩනැගුනු ආණ්ඩුවක් අත ගසා ඇත්තේ එම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ භාර දූර කාර්යයට ය.

මෙකී ව්‍යවස්ථාව ගොඩනැගීම අදියර තුනකින් ඉටු කෙරේ.

1. මහජන අදහස් විමසීම

2. මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් බවට පත් වෙමින් මහජන අදහස් සැලකිල්ලට ගෙන ව්‍යවස්ථා කෙටුම්පත සකස්කිරීම

3. එම කෙටුම්පත අවශ්‍ය නම් ජනමත විචාරණයකට ලක් කිරීම

4. පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය ලබාගැනීම.

මේ අනුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විනිවිද භාවයකින් යුක්ත ය. දැනට පසුකර ඇත්තේ පළමු පියවර පමණි. ව්‍යවස්ථාව ගෝනි බිල්ලකු ලෙස දකිමින් මහජනයා නොමඟ යවමින් සිටින ඊනියා දේශප්‍රේමී බලවේග ද පාර්ලිමේන්තුව නියෝජනය කරති. එහෙත් මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තුව තුළ දී ඉටු විය යුතු කාර්යය වෙනුවට ඔවුන් දැන් කරමින් සිටින්නේ ‘මූද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගැසීමටත්’ වඩා විසුළු ජනක ක්‍රියාවකි.

දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගම සහ භාෂාව සම්බන්ධයෙන් තිබෙන ව්‍යවස්ථා, සිංහල බෞද්ධ නොවන ජනවර්ග දෙවැනි පෙළ පුරවැසියන් හැටියට සැලකීමේ දෝෂයෙන් පෙළේ.

ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයෙහි මෙසේ දැක්වේ.

“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් 17 වැනි අනුව්‍යවස්ථාවෙහි 9 ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය පෝෂණය ආරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු ය.”

බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම හා බුද්ධ ශාසනය ආරක්ෂිත කොට පෝෂණය කිරීම යනු දේශපාලන සංස්ථාව සමඟ පෑහුණු භික්ෂූ සංස්ථාව තුටු පහටු කිරීමක් මිස අන් කිසිවක් නොවේ. 1972 ව්‍යවස්ථාවෙන් ද මෙය ම සිදු විය. මහත් බලාපොරොත්තු ඇති කරමින් 2000 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතෙහි ද එම දෝෂය තිබීම වාසුදේව නානායක්කාර මන්ත්‍ර‍ීවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම සහ බුද්ධාගම රාජ්‍යාගම වීම පිළිබඳ ඉල්ලීම මුලින් ම ඉදිරිපත් ව‍ූයේ 1940 දශකයේදී සිංහල මහා සභාවෙනි. 1956 මැතිවරණයේදී මෙහි වාසිය ලබාගත් බණ්ඩාරනායක මහතා මේ සටන් පාඨය වාසියට යොදාගෙන මැතිවරණය ජයග්‍රහණය කළේ ය.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධව උපවාසයක් ඇරඹූ දෙමළ මහජන නියෝජිතයන්ට මැර ප්‍රහාර එල්ල විය. තරුණ නීතිඥවරයකු ලෙස 1926 දී ශ්‍රී ලංකාවට පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍ය යැයි ප්‍රසිද්ධියේ කී බණ්ඩාරනායකම ය.

1926 ජූලි 17 සිලෝන් මෝනිං ලීඩර් පුවත්පතේ ඔහුගේ ‍කතාව මෙසේ පළවිය.

“ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන්නේ මේ ආකාරයේ ආණ්ඩු ක්‍රමයකි‍. කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි ස්වයං පාලිත විජිතවල ඇත්තේ ද එම ක්‍රමයම යි. ස්විට්සර් ලන්තයේ තිබෙන්නේ ලංකාවට වඩාත් ගැළපෙන ආදර්ශයකි. එය ඉතා කුඩා රටකි.

එහෙත් ප්‍රංශ ජර්මන් සහ ඉතාලි යන ජාතික කණ්ඩායම් තුනක් එහි වාසය කරති. ස්විස්ටර්ලන්තය වනාහි පෙඩරල් වර්ගයේ ආණ්ඩු ක්‍රමයක් ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වන රටකි.

ලංකාවේ එක් එක් පළාතකට සම්ප‍ූර්ණ ස්වයං පාලන අයිතිය තිබිය යුතු ය. දිවයිනේ විශේෂ ආදායම් වියදම් ගැන තීන්දු කිරීමට මන්ත්‍රණ සභා එකක් හෝ දෙකක් හෝ තිබිය යුතු ය. මේ ක්‍රමයට විරුද්ධ ව දහසකුත් එකක් තර්ක ඉදිරිපත් විය හැකි වුවත් එම විරුද්ධතා අඩු වී ගියාට පසු පෙඩරල් ආණ්ඩුක්‍රමය ලංකාවට තිබෙන එකම විසඳුම බවට පත්වනු ඇත.”

මෙය තුන් කල් දක්නා ඉසිවර නුවණින් කළ ප්‍රකාශයක් වැන්න.

නිදහසින් පසුව 2016 වනතුරු ම ජාතික ඒකාග්‍රතාව (ණටිඔනල් ඓන්ටෙර්ග්‍රටිඔන්) තහවුරු කිරීමට රාජ්‍යයට නොහැකි විය. ඒ සඳහා දරණ ලද හැම ‍උත්සාහයක් ම ජාතික විභේදනනය (ණටිඔනල් ඪිසින්ටෙග්‍රටිඔන්) ට පාර කපා බලය තහවුරු කර ගන්නා අවස්ථාවාදීන් විසින් පරාජය කරන ලදී.

බණ්ඩාරනායක මහතා තම හෘදය සාක්ෂියට එරෙහි ව යමින් අවස්ථාවාදයට යටවීමේ ප්‍රතිඵලය වූයේ ‘සිංහල පමණක්’ ප්‍රතිපත්තියට මාරුවීම ය.

එහෙත් පසුව ඔහු තමා කළ වරද ගැන පසුතැවිල්ලට පත් විය.‍ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇති වූයේ ඒ අනුව ය. දෙමළ භාෂාව සුළුතර ජාතිකයන්ගේ භාෂාවක් වශයෙන් පිළිගැනෙන නි‍ර්දේශ, දෙමළ භාෂාව උතුරු නැ‍ඟෙනහිර පළාත් පාලන භාෂාව බවට පිළිගැනීම, උතුරු නැ‍ඟෙනහිර දෙමළ භාෂාව කතා නොකරන සුළුතර ජාතීන් සඳහා විධිවිධාන යෙදීම, පුරවැසි පනත සංශෝධනය කර වතු දෙමළ කම්කරුවන් හට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් ගිවිසුමට ඇතුළත් ය.

මෙයට එරෙහිව ප්‍රබල භික්ෂූ විරෝධයක් පැන නැංගේ ය.

බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේ ය. එහෙත් ඔහුගේ හෘද සාක්ෂිය අවධි විය.

“ඔබ වහන්සේලා මෙයට විරුද්ධ නම් මා මෙය ඉරා දමන්නම්. එහෙත් මෙය ඉරා දැමීමෙන් රටේ අනාගතයේදි හානිකර ප්‍රතිඵල ඇතිවේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.”

ඔහු කීදේ හරි ගියේ ය. තිස් වසරක් දිග් ගැසුණු යුද්ධය එහි ප්‍රතිඵලය විය. කොළේ ඉර‍ාගත් බණ්ඩාරනායක මහතාට වැඩි කල් ජීවත්වී‍මට ද දුෂ්ට බලවේග අවස්ථාව ලබාදුන්නේ නැත. ඔහුගේ ජයග්‍රහණයට මූලිකත්වය ගෙන කටයුතු කළ භික්ෂු බලවේගයේ ප්‍රමුඛයකු වූ මාපිටිගම ‍බුද්ධරක්ෂිත ගෙන් පිළිබිඹු ව‍ූයේ බුද්ධාගම රැක ගැනීමේ වේශයෙන් පෙනී සිටි ජාවාරම්කාර අශිෂ්ට බලවේගයකි.

අගමැතිවරයා වෙඩි කෑවේ එම කල්ලියේ අරමුණුවලට බාධාවක් වීම නිසා ය. මෙම ජාවාරම්කාර අශිෂ්ට බලවේගය මහන්ද චින්තනය සමඟ ද හොඳින් දීග කෑ බව අලි පැටවුන් ජාවාරමට සම්බන්ධ භික්ෂූන්ගේ පැටිකිරියෙන් පෙනේ. එහෙත් මහින්ද චින්තනය එම දුෂ්ට බලවේගයට බාධාවක් වූයේ නැත. බුදු දහම ආරක්ෂා කිරීම, රණවිරු වන්දනාව සහ බටහිර බලවේගවලින් රට බේරා ගැනීමේ මන්තරය ජප කරමින් අර්ධ පැසිස්ට්වාදී පාලනයක් ගෙන යෑමට ඔහු සමත් විය. එහෙත් තමා ම පත් කළ සර්වපාක්ෂික කමිටුවේ යෝජනාවල තිබූ 13 ට එහා ගිය විසඳුම ප්‍රතිරාවය කරමින් එය කුණු කුඩයට දැමූ මහින්ද රාජපක්ෂත්, බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැම‍ූ බණ්ඩාරනායකත් ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ඉවත දැමූ ඩඩ්ලි සේනානායකත් ගමන් කළේ එක ම ‍මඟක ය.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ලොකු ම බාධාව එල්ල කිරීමට අර අඳිමින් සිටින්නේ වරින් වර හිස ඔසවන පැරැණි බලවේගයේ ම නූතන මුහුණුවර මිස අන් කිසිවක් නොවේ. සුනාමි ව්‍යසනය පැමිණි මොහොතෙහි එයින් සිදුවූ විනාශය වළක්වා ගැනීම සඳහා විපතට පත් රටවලට අනෙක් රටවලින් විශාල වශයෙන් ආධාර ලැබිණි.

ලොව ඇතැම් රටවල් විනාශය මතින් නැවත හිස එසවීම සඳහා මෙය අවස්ථාවක් කර ගත්තේ ය. ඉන්දුනීසියාවට අයත් බණ්ඩා අචේ ප්‍රාන්තය එකඟතා ලියැවිල්ලක් මඟින් ප්‍රාදේශීය පාලනයක් සඳහා අවශ්‍ය බලතල ලබා ගනිමින්, විනාශය වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත් කර ගත්තේ ය. ලේ ගැලීමකින් තොර ව අර්බුදය නිමාවට පත් විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සුනාමි සහන යන්ත්‍රණය (ඵ් ටොම්) මඟින් උත්සාහ ගත්තේ ද සුනාමියෙන් සිදුවූ අතිමහත් විනාශය ඔස්සේ නැවත ගොඩනැගීමේ කාර්යය ගොඩනැඟිලි ඉදිකිරීමකට සීමා නොවී අන්තවාදී කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කර ගැනීමේ අවස්ථා‍වක් බවට පත් කිරීම ය.

සුනාමියෙන් විනාශ වූ රට ගොඩනැගීමේදී තීන්දු ගන්නා ක්‍රියාන්විතයේ කොටස්කරුවන් වීමේ අවස්ථාව ඔවුන්ට ලබාදීමේ වරද කිම?

එහෙත්, මෙහිදී ද පසුගාමී භික්ෂු සංස්ථාවට උරුම වූ දෙමළ විරෝධය පැන නැංගේ ය. එවක උතුරේ අන්තවාදයට සමාන්තරව ක්‍රියාත්මක වූ දකුණේ අන්තවාදය නියෝජනය කළ භික්ෂු කණ්ඩායම පිටකොටුවේ බෝධිය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය. අප කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කී අගවිනිසුරු සරත් සිල්වාගේ අධිකරණ තීන්දුව ද බලය ඇල්ලීමේ පිපාසාවෙන් පසු වූ දේශපාලන බලවේගය ද සුනාමි සහන යාන්ත්‍රණය ගොඩනැගීමට අන්තිම ඇණය ගැසුවේ ය.

ආයුධ මත බර තැබීමේ දේශපාලන අවකාශය විවර වූයේ එහි ප්‍රතිඵල ලෙස ය. එහෙත් ආයුධ බලයෙන් ප්‍රශ්න විසඳීමේ සීමාව සහ එහි ප්‍රතිවිපාකවලට අපි දැන් මුහුණ දෙමින් සිටිමු.

මෙහිදී අන්තවාදී භික්ෂූන්ගේ දුෂ්ටත්වය පරාජය කිරීමේ වගකීමක් ප්‍රගතිශීලී, විචාරශීලී භික්ෂූන් වෙත පැවරේ. ඔවුන්ගේ නිහඬ බව එතරම් සුබ නැත.

තිඹිරියාගම බණ්ඩාර