වැට් බදු තීන්දුව ලබා දුන් අධිකරණය ස්වාධීන මෙන්ම විශ්වාස බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පුතා නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැරැදි බවත්, චෝදනා සාවද්‍ය මෙන්ම පළිගැනීමක් සිදුකර තිබෙන බවත් පවසමින් අවස්ථාවාදී දේශපාලනයක නිරතවන බව වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා මහතා පැවැසීය.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට වැයවුණ කාලය ඉතා දීර්ඝ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වූ බවත් දූෂණ විරෝධී පෙරමුණ උප සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.

මේ අත්අඩංගුවට ගැනීම ඒකාබද්ධ විපක්ෂය දේශපාලන පළිගැනීමක් ලෙස නිර්වචනය කරන්නේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්න කළ සුමංගල හිමියෝ රුපියල් මිලියන හැත්තෑවක් සම්බන්ධ සොරකමකට දේශපාලන පළිගැනීමකිව හැකිදැයි විමසා සිටි උන්වහන්සේ නාවික හමුදා නිලධාරීන් යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙසීය පනහක් නාවික හමුදාවෙන් උපයා ගත්තේ කෙසේදැයි යන්නත් ඔහු හෙළිකළ යුතු බව පැවසූහ.

නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයේ හිඳිමින් වීර කතා කියන අතර ඔහු බලන්නට යන අය සුරංගනා කතා කියන බවත් දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

දූෂණ විරෝධී පෙරමුණ ඊයේ (12) මරදානේ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ අදහස් පළකැරිණි.