පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් ඉකුත් වසර කිහිපයේදී තම නිල බලය හා දේශපාලන බලය උපයෝගි කරගෙන අයථා ලෙස උපයාගත් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇතැයි කියන, කොටස් වෙළෙඳපොළේ සමාගම් කිහිපයක ලේඛන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (30) දන්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ කොටස් අයිතියෙන් යුතු එන්.ආර්. කන්සල්ටන්සි පෞද්ගලික සමාගමේ සහ ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගමේ තිබූ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඉකුත් ජනාධිපතිවරණය පැවැති 2015 ජනවාරි 8 වැනි දිනෙන් පසුව රහසිගතව සඟවා ඇතැයි දන්වා සිටි පොලිසිය එම ලිපි ලේඛන සියල්ල සොයා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව අධිකරණය වෙත දන්වා ඇත.

මේ විමර්ශනයට අදාළව සිදු කරන වැඩිදුර විමර්ශනවලදී හා පෙර ලබාගන්නා ලද අධිකරණ නියෝග ප්‍රකාරව ලබාගත් වාර්තා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයාගන්නා ලද මුදල් ඔහු විසින් ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම, එන්.ආර්. කන්සල්ටන්සි පෞද්ගලික සමාගම, ෆෙලෝකෝප් පෞද්ගලික සමාගම, සන්වේ ප්‍රොපටිස් පෞද්ගලික සමාගම, ගවර්ස් සොලුෂන් පෞද්ගලික සමාගම යන ආයතන හරහා කොටස් වෙළෙදපොළේ ආයෝජනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත ලිඛිතව දන්වා තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මේ විමර්ශනයට අදාළව ඉකුත් මැයි 23 වැනි දින අධිකරණයෙන් ලබාගන්නා සෝදිසි වරෙන්තුව අනුව කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ස්ථානයක් පරීක්ෂා කළ බවත් එම ස්ථානය සුජානි බෝගොල්ලාගම නමැත්තිය පදිංචිව සිටින ස්ථානයක් බවත් එම සෝදිසියේදී සිලෝන් ප්‍රිමියර් ස්පෝට් ආයතනයට අදාළ ලේඛන අඩංගු ගොනු 17ක් සොයාගත් බවත් අධිකරණය වෙත දන්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ කොටස් අයිතියෙන් යුත් කොටස් වෙළෙඳපොළ සමාගම් සිදුකළ ගනුදෙනු සම්බන්ධ වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බව දන්වා සිටි පොලිසිය මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරුවන් ලෙස හඳුනා ගැනීමට හැකි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙස එහිදී නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයිද අධිකරණය වෙත දන්වා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබන ජූලි 28 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පොලිසියට නියෝග කර ඇත.

LEAVE A REPLY