හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් අද(17) දින පෙරවරුවේ තංගල්ල නගරයේදී හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා රැළිය සඳහා දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක ස්වාමීන් වහන්සේලා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ.

කළු කොඩි ඔසවමින් ,විරෝධතා පුවරුද රැගෙන තංගල්ල කාල්ටන් නිවස අසළින් ආරම්භ කරන ලද විරෝධතා රැළිය තංගල්ල බස් නැවතුම්පොළ තෙක් පා ගමනින් පැමිණ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැයකට පමණ ආසන්න කාලයක් සටන් පාට කියමින් විරෝධතාවයේ නියැළුණි.

මේ හේතුවෙන් ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල වූ අතර තංගල්ල පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත නැවතත් ගමනා ගමන කටයුතු නිසිලෙස සිදුකිරීමට අවස්ථාව සළසා දෙනු ලැබීය.

උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් පවසා සිටියේ වර්තමාන යහ පාලන ආණ්ඩුව තම පටු දේශාපාලන අදහස් ඉටු කර ගැනීමට රාජපක්ෂවරුද ,ඒකාබද්ද විපක්ෂයේ ජන නායකයින්ද මෙලෙස හිරේ විලංගුවේ දමමින් සිටින බවයි.

ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුව ගෙන යන මේ දඩයමට එරෙහිව මෙම මර්දනයට ඉඩ නොදී මුළු රටෙහිම ජනතාව එකාවන්ව ආණ්ඩුවේ රණවිරු දඩයමට,රාජපක්ෂවරු දඩයමට ,ඒකාබද්ධ විපක්ෂයේ ජන නායකයින් දඩයමට එරෙහිව නැගී සිටිය යුතු බව ඔවුන් ප්‍රකාශකර සිටියේය.

එමෙන්ම ආණ්ඩුව ගෙනයන මෙම දේශපාලන දඩයම නවත්වන ලෙසද උද්ඝෝෂකයින් වර්තමාන ආණ්ඩුවට කියා සිටියේය.

LEAVE A REPLY