ලංකාවේ මාධ්‍ය අයිතිය, එම අයිතිය ලැබුණු හැටි ගැන වන පරිච්ඡේදයක් මම 2004 වසරේ පළ කළ ‘වාරණ පුරාණය‘ පොතට ඇතුලත් කළෙමි. ලංකාවේ මාධ්‍ය අයිතිය ගැන අදටත් උපාධි අපේක්ෂකයින්, පශ්චාත් උපාධි අපේක්ෂකයින් භාවිත කරන්නේ ඒ කෘතිය හා පසු කාලයේ මා විසින්ම විටින් විට එයට එකතු කළ දේ ය.

විද්‍යාත් මාධ්‍ය අයිතිය ගැන නොව එහි කොටසක් වන විද්‍යුත් සංඛ්‍යාත අයිතිය ගැන කථාවක් මතුව ඇත. එය හොදය.

1978 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ඒමන් කාරියකරවන මහතා විසින් ගුවන් විදුලි පනත (මගේ මතකය අනුව 40 වන වගන්තිය) අනුව පුද්ගලික රූපවාහිනී නාලිකා ආරම්භ කිරීම සදහා ඉල්ලුම් පත් කැදවීය. අයිටීඑන් හා පිලිප්ස් සමාගමට අයත් (මොරිස් රෝව් විය යුතුය) කණ්ඩායමක් අයදුම්පත් ඉරිපත් කළේය. පැය 24 ක් තුල රු. ලක්ෂයක් ගෙවා බලපත් ලබාගන්නට නියම විය. එය කළ හැකි වූයේ ශාන් වික්‍ර‍සිංහ ගේ අයිටීඑන් එකට පමණී. එදා පටන් අද දක්වා කිසිම දවසක ගුවන්විදුලි නාලිකා අරඹන්නට විවෘත ඉල්ලුම්පත් කැදවා නැත. ලංකාවේ නාලික ඇරඹීම පිළිබද ඇත්තේ දේශපාලන හා බැදුණු කථා රැසකි. මා දන්නා දේ, සොයා ගත් දේ ‘වාරණ පුරාණය‘ හා ‘දේශපාලන සන්නිවේදනය‘ කෘති වල ලියා තැබීමි.

අනුර දිසානායක මහතා තොරතුරු පනත යටතේ සංඛ්‍යාත ලබාදීම පිළිබද ප්‍ර‍ශ්නයක් යොමු කර ඇත. උත්තරය ද දන්නා නිසා වැඩි අවුලක් ද නැත! ලංකාවේ පක්ෂ දේශපාලනයෙන් තොර ජනමාධ්‍ය ව්‍යාපාරයක් නැත. ලංකාවේ මාධ්‍ය අයිතියට දේශපාලනය ගැවී නොමැති මාධ්‍ය ව්‍යාපාරයක ආරම්භයක් ඇති නම් ඒ පත්තරයක්, සගරාවක් පමණකි. ඒවායේ ද මැදට පක්ෂ දේශපාලනය නොගැවුණු තැන් දුලබය. ඇත්තේම නැත යැයි කීව ද වැරදි නැත.

අදටත් ඕනෑම පුද්ගලයෙකුට රු. ලක්ෂයක මුදලකට පුද්ගලික නාලිකාවක් සදහා අයදුම් පත්‍ර‍යක් ඉදිරිපත් කළ හැකිය. (1978 සිට වෙනස් වී නැත)

මම මේ කථාව 2004 දී ලියා ඇත. අලුතෙන් ලියන්නට ඇති දෑ වෙනත් කවුරුන් හෝ ලියන තෙක් බලා සිටිමි. එසේ කරන අයෙකුට අවශ්‍ය බොහෝ ලේඛන, මුලාශ්‍ර‍ පිළිබද ඉගි ද ලබා දිය හැකිය. දැනගෙන කථා කරන්නට එය උපකාරයක් වනු ඇති අතර එවිට බොහෝ විහිළු විකාර නැතිව විෂයය කථා කළ හැකිය. අදට එපමණකි.

රජිත් කීර්ති තෙන්නකෝන්