පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරියෙකු ඝාතනය කරමින් පොලිස් පරීක්ෂක රංගජීව ඇතුලු නිලධාරීන් 2 කට බරපතල තුවාල සිදුකරමින් සහ තවත් අහිංසක සිවිල් දැරියක නිකරුනේ ඝාතනය වූ පිළියන්දල වෙඩි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කා වූ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකුට සහ ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කා කමල්  සිල්වාට ස්ථාන මාරු වීම ලබා දී ඇත්තේ පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධිය තවදුරටත් යට ගැහීමට පහසු වන ආකාරයට පොලිස් අපරාධ හා රථ වාහන අංශයට ය.

ලංකා ඊ නිව්ස් මුළ සිටම හෙළිකළ පරිදි පිළියන්දල වෙඩි තැබීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ඉහළ නිලධාරීන්ගේ සහ පොලිස්පතිවරයාගේ අනුදැනුම මත සිදුවූවකි. එ් පිළිබඳ වාර්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලවා පවත්වා දින 3 ක් ඇතුලත වාර්තාවක් දෙන්නැයි පොලිසිය බාර ඇමැති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට සිද්ධිය වූ සැනින් නියෝග කළද අද දක්වා පොලිස්පතිවරයා ඇමැතිට දුන් වාර්තාවක් නැත. පරීක්ෂණ විශේෂ කාර්ය බලකා ප්‍රධානියාට පැවරුවේ ද නැත. අඩුම ගණනේ පොලිසියේ කීර්තිමත් අපරාධ පරීක්ෂණ අංශය වූ සීඅයිඩියට පරීක්ෂණ බාර දුන්නේ ද නැත. ප්‍රථමයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන්ම පරීක්ෂණ පැවැත්වූ අතර පසුව පොලිස්පතිට හිතවත් සංවිධානාත්මක අපරාධ අංශය මගින් පරීක්ෂණ පැවැත්වීය. දැන් කමල් සිල්වා මාරු කර යවා ඇත්තේ ද එම සංවිධානාත්මක අපරාධ අංශය ඇතුලත් අපරාධ අංශයේ ප්‍රධානියා ලෙසය. මෙය හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීම බඳුය.

ලජ්ජාවක් ඇති ඇමැතිවරයෙකු නම් දින 3 ක් ඇතුලත වාර්තාවක් දෙන්නැයි නියෝග දුන් විට එය ලබා නොදෙන්නේ නම් එක්කෝ අදාල නිලධාරියා ඉවත් කළ යුතුය. නැතිනම් තමන් ඉල්ලා අස්විය යුතුය. නමුත් සාගල රත්නායක නමැති අපූරු පොලිසිය බාර ඇමැත්තා  එම ක්‍රියාමාර්ග දෙකම නොගත් අතර පහල නිලධාරීන් තමාට වාර්තාව දුන්නේ නැතැයි පොලිස්පතිවරයා ගැලවිජ්ජාවට කී කතාව පිළිගෙන මීමින්නෙකු සේ නිහඬ විය.

පොලිසියේ නිලධාරීන්ට වෙඩි තබා එක් නිලධාරියෙකු මිය ගොස් තවත් නිලධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකළ පිළියන්දල ප්‍රහාරය වැනි රජයකට අභියෝග කළ තීරණාත්මක අපරාධයකදී පොලිස්පතිවරයාගේ සහ පොලිසිය බාර ඇමැතිගේ හැසිරීම නින්දා සහගත ය.

මෙම ප්‍රහාරය කරා පොලිස් නිලධාරීන් රැගෙන ගිය සැක කටයුතු ඔත්තු කරුවා වූ ‘නසාර්‘ නමැත්තා මත්ද්‍රව්‍ය ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කා වූ කමල් සිල්වාගේ සහ ඔහුට ඉතාම හිතවත් පොලිස් පරීක්ෂක විජේසේකර නමැත්තාගේ හිතවතෙක් බවත්, නසාර් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේ පිළියන්දල ප්‍රහාරයෙන් දින 4 කට පසුව ය. වෙඩි තැබීමෙන් පසු කමල් සිල්වා විසින් ‘නසාර්‘ට එන්නැයි කියා ප්‍රශ්න කර නිදහස් කර යැවූ බවද අප එදිනම හෙළි කෙළේය. ඉන්පසුව මේ වන විට ‘නසාර්‘ රටින් පිට කර තිබෙන බවද හෙළි කෙළේය.

අප අද තවත් හෙළිදරව්වක් කරමු.. මෙකී වෙඩි ප්‍රහාරය සිදුවූ දා පෙර කී ‘නසාර්‘ ගේ හිතවතා වූ පොලිස් පරීක්ෂක විජේසේකර (කමල්ගේ ගෝලයා) එදින රාජකාරියට වාර්තා කෙළේ නැත. ඉන්පසු ‘නසාර්‘ව හොර රහසේ රටින් පිට කරන තුරුම ඔහු රාජකාරියට වාර්තා කෙළේ නැත. සති ගණනකට පසු ඔහු යලි රාජකාරියට වාර්තා කෙළේ ‘නසාර්‘ රටින් පිට කිරීමෙන් පසුව ය. මේවා කමල් සිල්වා සහ පොලිස්පතිවරයා නොදන්නේ නැත. සැලසුම් පිටුපස ඔවුන්  නොවේ නම් ප්‍රථමයෙන්ම අත් අඩංගුවට ගත යුතු ‘නසාර්‘ ප්‍රශ්න කර යන්න හරින්නේ ඇයි..? මෙහි අපූරු විහිළුව නම්  ‘නසාර්‘ බෝට්ටුවකින් පැන ගියා යයි කියමින් දැන් බෝට්ටුකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබීමයි. එසේ නම් ඊට පෙර අත් අඩංගුවට ගත යුත්තේ ‘නසාර්‘ ට එන්න කියා ප්‍රශ්න කර නිදහස් කර යැවූ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා නොවේද?

මෙකී වෙඩි ප්‍රහාරය ද පාතාලයේ වැඩක් යැයි කීවද ලංකා ඊ නිව්ස් හා සම්බන්ධ ගිනි අවි විශේෂඥවරුන්ගේ මතය නම් එය දීර්ඝ කාලීන අවි පුහුණුවක් ලැබූ, තම ටී 56 ගිනි අවිය හැන්ද ගෑරුප්පුව සේ පුරුදු කාරයෙකුගේ වැඩක් බවයි. පාතාලයේ එවැනි පුහුණු උන් නැත. එසේ වී නම් හේ නිසැකයෙන්ම දීර්ඝ කාලයක් යුද පුහුණුව ලැබූ හමුදාවේ අයෙකුගේ සේවය කුලියට ලබා ගැනීමක් බව ඔවුන්ගේ මතයයි. නමුත් පොලිස්පති පූජිත සහ සාගලට පෙන්වන්නේ වෙනත් දිශාවක් බව දැන ගැනීමට තිබේ.

මේ නාටකයට සම්පූර්ණයෙන්ම වග කිව යුතු වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කා වූ කමල් සිල්වා, ඔහුගේ හෙංචා පොලිස් පරීක්ෂක විජේසේකර සහ පොලිස්පති පූජිත බව සාගල රත්නායකට නොවැටහුනාට ඕනෑම බූරුවෙකුට වැටහෙනු ඇත. 

මේ අතර වයඹ සහ උතුරුමැද පළාතට බාරව සිටි අති දක්ෂ නිලාදරියකුවන  ජ්‍යෙ.නි.පොලිස්පති රවී මහතාව පොලිස් මුලස්ථානයට මාරු කර පොලිස්පතිගේ අතකොළුව වන ජගත් අබේසිරිගුණවර්ධනව  වයඹ සහ උතුරුමැද පළාතට  පත් කර ඇත   මෙය පොලිස්පතිගේ ඉදිරි දේශපාලන ගමනට අත්තිවාරමක් ලෙස අප වෙත ආරංචි මාර්ග පවසයි

කෙසේ වෙතත් අද සිදුකළ ස්ථාන මාරුවීම් වලදී සසී මැදවත්ත හෙවත් නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත මත්ද්‍රව්‍ය නාශක අංශය බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ. නමුත් මත්ද්‍රව්‍ය නාශක අංශයට අධ්‍යක්ෂ වරයෙකු පත් කර නැත. හිටපු අධ්‍යක්ෂ වූයේ කමල් සිල්වා වන අතර ඔහු නියෝජ්‍ය පොලිස්පති පදවියට ඉහල දැමුණු පසු ඔහු එහිම නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කළ අතර අධ්‍යක්ෂ ලෙසද වැඩ බැලුවේ ය. එවැන්නක් ඉතිහාසයේ කිසිදු දිනෙක පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුවූ දෙයක් නොවීය. දැන් අලුතින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කෙරුණද අධ්‍යක්ෂක වරයෙකු පත් කෙරී නැත. වැඩ බලනු ලබන්නේ ඒඑස්පී. සියඹලාපිටිය විසිනි.

පූජිතගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය ලැබූ අද සිදුකරන ලද නියෝජ්‍ය පොලිස්පති මාරුවීම් පහත පරිදි ය.

1. ජ්‍යෙ.නි.පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන – ජ්‍යෙ.නි.පොලිස්පති සහායක සේවා සිට ජ්‍යෙ.නි.පොලිස්පති උතුරු මැද පළාත සහ වයඹ පළාත ලෙස

2. ජ්‍යෙ.නි.පොලිස්පති වයි.ආර්.ඩබ්.විජේගුණවර්ධන – උතුරු මැද සහ වයඹ පළාතේ සිට ජ්‍යෙ.නි.පොලිස්පති සහායක සේවා ලෙස 

3. ජ්‍යෙ.නි.පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු – ජ්‍යෙ.නි.පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව සිට ජ්‍යෙ.නි.පොලිස්පති උතුරු පළාත ලෙස

4. නි.පොලිස්පති පී.මුණසිංහ – නි.පොලිස්පති සබරගමුව සිට පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව ලෙස

5. නි.පොලිස්පති ආර්.එල්.කොඩිතුවක්කු – පොලිස්පතිගේ මාණ්ඩලික නි.පොලිස්පති සිට නි.පොලිස්පති සබරගමුව ලෙස

6. නි.පොලිස්පති එස්.සී. මැදවත්ත – නි.පොලිස්පති පිරිස් බඳවා ගැනීම් සහ පුහුණු දිසාවේ සිට නි. පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව ලෙස.

7. නි.පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න – නි. පොලිස්පති යාපනය දිසාව සිට නි.පොලිස්පති බඳවා ගැනීම් සහ පුහුණු දිසාව ලෙස

8. නි.පොලිස්පති ඩබ්.කේ.ජයලත් – නි.පොලිස්පති ගාල්ල දිසාව සිට නි.පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව ලෙස.

9. නි.පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි – නි.පොලිස්පති අපරාධ සහ අපරාධ බුද්ධි දිසාව සිට පොලිස්පති මාණ්ඩලික නි.පොලිස්පති ලෙස

10. නි.පොලිස්පති කේ.පී. ප්‍රනාන්දු – නි.පොලිස්පති රථවාහන දිසාව සිට නි.පොලිස්පති යාපනය දිසාව ලෙස

11. නි.පොලිස්පති අයි.එච්.කේ.ඩබ්.සිල්වා (කමල් සිල්වා) -නි.පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව සිට නි.පොලිස්පති අපරාධ සහ රථවාහන දිසාව ලෙස

12. නි.පොලිස්පති ඒ.එච්.එම්.ඩබ්.සී.කේ. අලහකෝන් – නි.පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව සිට නි.පොලිස්පති ගාල්ල දිසාව ලෙස

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ මාණ්ඩලිකයෙකු විසිනි-