බස්නාහිර පළාත තුළ පොලීසිය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් 1262 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේ, ඒ අතර දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් 46 දෙනෙකු සිටින බව ය.

වරෙන්තුකරුවන් 177 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අතරින් 17 දෙනෙක් පොලීසියට අවශ්‍යව සිටි අයයි.

මීට අමතරව සැක කටයුතු පුද්ගලයින් 540 දෙනෙකු ද එම මෙහෙයුමේදී පොලිස් අත්අඩංගුවට පත්විය.

පොලීසිය පැවසුවේ බන්ධනාගාරයෙන් පලාගිය සැකකරුවන් දෙදෙනෙකු සහ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් අය අතර වන බව ය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සංඛ්‍යාව 23කි.

බීමත් රියැදුරන් 103 දෙනෙකු සහ අන්තරාදායක ලෙස රිය පැදවූ 323 දෙනෙකු ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්විය.

බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථානවල නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රි 11 සිට අලුයම එක දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ඒ, සඳහා එක්ව සිටි පොලිස් නිලධාරින් සංඛ්‍යාව 3072කි.

LEAVE A REPLY