ශ්‍රී ලංකා පොලිසිය හා මහජනතාව අතර පවතින සබඳතාව වර්ධනය කරනු පිණිස පොලිස් නිලධාරින් සඳහා චර්යා ධර්ම පද්ධතියක් ජාතික පොලිස් කොමිසම මඟින් සකස් කර තිබේ.

මෙම ආචාර ධර්ම පද්ධතිය ලබන මාසයේ සිට ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක වනු ඇතැයි පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසා සිටියි.

පොදු ජනතාවට හිතවත් පොලිස් සේවාවක් බිහිකිරීමත් මහජනතාවගේ අපේක්ෂාවන් අනුව එහි කටයුතු කාර්යක්ෂම කිරීමත් මෙබඳු ආචාර ධර්ම පද්ධතියක් බිහිකිරීමේ අවශ්‍යතාවය වූ බවද ඒ මහතා කීවේය.

පොලිස් නිලධාරින්ට වැටුප් ලැබෙන්නේ මහජන මුදලින් බව ඔවුන් මතකයේ රඳවාගත යුතු බවත් මහජනතාවට විනීත විය යුතු ආකාරය ඔවුන් දැනගත යුතු බවත් මෙම යුතුකම් මෙම ආචාරධර්ම පද්ධතියෙන් ඔවුන්ට සිහිගැන්වෙනු ඇතැයි ලේකම්වරයා පැවැසීය.

පොලිස්පතිවරයාගේ එකඟතාවය ඇතිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙය සකස් කර තිබේ. දීපව්‍යාප්තව සිටින සියලු පොලිස් නිලධාරින් මෙම ලේඛනය කියවා අත්සන් තැබීම උත්සවාකාරයෙන් සිදුවනු ඇතැයිද ඒ මහතා පැවසීය.

සියලු පුහුණු පාඨමාලාවට ඇතුළත් කරන මෙය සෑම නිලධාරියකුටම උසස්වීම් ලැබෙන අවස්ථාවේදී උස් හඬින් කියවා අත්සන් තැබිය යුතු ලේඛනයක් බවටද පත්වෙනු ඇතැයි ලේකම්වරයා කීය.

දැනට පවතින සංග්‍රහ ඉතා කුඩා යල් පැනගිය ලේඛනයක් නිසා මෙලෙස යාවත්කාලීන කළ බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY