බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදිම වෙනුවෙන් එරට රජය සියලූ කටයුතු සූදානම් කර තිබුණි.

ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

එමෙන්ම ශ්‍රී ලංකා – බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සරසා තිබුණේ ද දෙරටේ හෘදයාංගම මිතුදම මැනවින් විදහා දක්වමිනි.

බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.