කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාදීමට අදාල ටෙන්ඩර් පටිපාටියේදී සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුව විසින් විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැඩි ලෙස දෝශාරෝපණය කර ඇති බව වාර්තා වී තිබේ.

පසුගියදා සවස අරලියගහ මන්දිරයේදී රැස්වූ මෙම කැබිනට් අනුකමිටුව බලාගාරය ඉදිකිරීමට අදාළ ටෙන්ඩර් පටිපාටියේදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව ලේකම්වරයාගෙන් ප්‍රශ්ණ කර තිබේ. එහිදී ඔහු විසින් තමන් ක්‍රියා කලේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලබාදුන් වාර්තාව මත පදනම්ව බවත් තමන් කිසිදු වරදක් සිදුකර නැති බවත් කැබිනට් මණ්ඩල අනු කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

එම අනුකමිටුවේ සාමාජිකත්වය දරණ ප්‍රභල කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු විසින්, තාක්ෂණික ඇගයීම් කමිටුව සමාගම් හයක් අනුමත කර තිබියදී සමාගම් පහක් නොසලකා හැර එක් සමාගමකට පමණක් මෙම ටෙන්ඩරය ලබාදීම සඳහා කටයුතු කලේ මන්ද යන්න පිළිබඳව සාක්ෂි සහිතව විමසූ අවස්ථාවේදී සුරේන් බටගොඩ දැඩි අපහසුතාවයට පත්වී තිබේ.

නිලධාරීන් විසින් කොමිස් මුදල්වලට කෑදර වී කරනු ලබන මෙවන් පාහර ක්‍රියාවන් නිසා රටේ ජනතාවට මෙන්ම අනාගත පරපුරටද වන්දි ගෙවීමට සිදුවනු ඇති බවට පැවසූ කැබිනට් අනු කමිටු සාමාජිකයින් මෙවන් ක්‍රියා නිසා අවසානයේ ආණ්ඩුවේ නමට කැලලක් ඇති වන බවටද ප්‍රකාශ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයෙක් අප වෙත පැවසුවේ මෙම කොමිස් සිද්ධියට වෙනත් අමාත්‍යංශයක විෂයභාර  ඇමතිවරයෙක්ගේ සම්බන්ධයක් තිබන බවයි

නියමිත ක්‍රමවේදය ඔස්සේ අදාල ගනුදෙනු සිදුකිරීමට වගබලාගන්නා ලෙසට එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සුරේන් බටගොඩට දැඩිව අවවාද කර ඇති බවටද විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.