බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථානවල නිලධාරීහු ඊයේ රාත්‍රියේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

බස්නාහිර පළාතේ පොලිසි වල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් පොලිසි සීරුවෙන් තැබීමට ඊයේ නියෝග කලේ කවුදැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කිසිදු ඇමැතිවරයෙකු හෝ පොලිස්පතිවරයාට උපදෙස් දී නොමැති බව හෙළිව තිබේ.

බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අප වෙත පැවසුවේ, මේ සම්බන්ධයෙන් තමන් වෙත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ය.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බස්නාහිර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අපරාධකරුවන්, වරේන්තුකරුවන්, පාතාල කල්ලි සාමාජිකයින්, බීමත් රියැදුරන්, නිවාස බිඳීම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම එම වැටලිම් මෙහෙයුමේ අරමුණ බව ය.

ඊයේ රාත්‍රියේ පැය 4ක කාලයක් මාර්ග බාධක, ජංගම මුර සංචාර සහ හදිසි සෝදිසි කිරීම් මේ යටතේ සිදු කර තිබේ.

ඊයේ පස්වරුවේ සියලු පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙසට නියෝග කර තිබුණේ, මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ ය.