තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු හරහා අදහාගත නොහැකි තරම් අති විශාල ලාභ ලැබුණේ තමාත් රවි කරුණානායක ඇතුළු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා බව රාජ්‍ය බැංකු ප්‍රධානීන් හෙළි කළ තොරතුරුවලින්ම තහවුරු වනවා නොවේ දැයි පසුගිය (09දා) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් විමසා සිටියේය.

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීමට හේතු වූ කරුණු පිළිබඳ පිළිතුරු දෙන්නට විය.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් එලෙස විමසා සිටියේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අසීමිත ලෙස ලාභ ලැබුණේ තමාගේ උදවු උපකාර මත නොවන බවට ඉදිරිපත්වූ වාචකයට ප්‍රතිචාර දක්වමිනි.

එතෙකින් නොනැවතුණු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලේඛන එකින් එක ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් පාලන සමය තුළ පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට වාසි හිමිවී ඇති ආකාරය පෙන්වා දුන් අතර ඒ බැව් පිළිගැනීමට මිස ඒ කිසිවකුත් ප්‍රතික්‍ෂේප කිරීමට අර්ජුන මහේන්ද්‍රන්ට නොහැකි විය.

සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර ගනුදෙනු අංශයට අර්ජුන් ඇලෝසියස්ගේ අතවැසියකු වූ සමන් කුමාර නමැත්තා කිසිදු සුදුසුකමක් පවා නොමැතිව පත්කොට ගත්තේත්, එතැන් සිට එකී අරමුදලට පාඩුපිට පාඩු ගෙන දෙමින් බැඳුම්කර ගනුදෙනු සිදු කළේත් තමාගේ අනුදැනුම පමණක් නොව තමාගේ සම්පූර්ණ මෙහෙයවීම යටතේ නොවේ යැයි තහවුරු කරන්නට එකදු සාක්‍ෂියක් හෝ හැකි නම් ඉදිරිපත් කරන්නැයිද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා මහේන්ද්‍රන් හට අභියෝගයක්ද ඉදිරිපත් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහීඩා බාරි මහත්මිය විසින් ඊට නිදසුන් ගණනාවක්ම මහ බැංකු ලේඛන මඟින්ම ඉදිරිපත් කරමින් කරුණු විමසද්දී හිටපු මහ බැංකු අධිපතිවරයාට ඒවා නොපිළිගෙන සිටීමට නොහැකි විය.

එවන් එක් නිදසුනක් වූයේ, රුපියල් බිලියන 28ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවකදී (2015 ඔක්තෝබර් මස 02 දින) රුපියල් 100ක කොටස රුපියල් 110ක් බැගින් වන සේ මිලදී ගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එදිනම එම බැඳුම්කරයම රුපියල් 115ක් බැගින් වන සේ මිලකට සේවක අර්ථසාධක අරමුදලට (ඡ්ර්ථීජ්) අලෙවි කිරීමේ ගනුදෙනුවය.

එවන්ම වූ ගනුදෙනු රාශියක් පිළිබඳ සහීඩා බාරී මහත්මිය අදාළ මහ බැංකු ලේඛන ඉදිරිපත් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසුවාය.

මේ අතර බැඳුම්කර නිකුතුව පිළිබද සොයා බැලීම සදහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සහ මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මීට සුළු මොහොතකට පෙර එම කොමිසම වෙත පැමිණියා.

මෙම අමාත්‍යවරුන්ගේ නම් බැඳුම්කර කොමිසමේදී සඳහන් වුයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහභාගි වු නිල නොවන සාකච්ජාවක් සම්බන්ධයෙන් සිදු කළ සාක්ෂි විභාගයේදියි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ඊයේ බැඳුම්කර කොමිසමට කැදවා තිබුණා.