හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබුනා යයි පැවසෙන මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 17ක ඉඩම හා නිවාස ලබන සිකුරාදා බොහෝදුරට රාජසන්තක වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ඉඩමට හා නිවසට බැසිල් රාජපක්ෂ මහතා අයිතිවාසිකම් නොකියන බව ඔහුගේ නීතිඥවරුන් ඊයේ (07) අධිකරණයට දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කෙරුනා.

ඒ, රජයේ මුදල් අවභාවිතා කරමින් එම ඉඩම මිලදී ගෙන එහි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීය.

පූගොඩ මල්වාන ගඟබඩ පාරේ අංක 111/03 ස්‌ථානයේ පිහිටි අක්‌කර 17 ක්‌ විශාල වූ ඉඩම මිලට ගෙන එහි නිවසක්‌ ඉදිකිරීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමින් මුදල් වැයකර රජයේ මුදල් අවභාවිතය කිරීම සම්බන්ධව හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට විරුද්ධව මෙම නඩුව විභාග වේ.

නඩුවට අදාළ ඉඩමේ සහ නිවසේ රජයේ තක්‌සේරුව රුපියල් ලක්‍ෂ 2003 කි.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත ජයකොඩි නමැත්තාගේ නීතිඥවරුන් ද අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඉඩමේ අයිතියක් සිය සේවාදායකයාට නොමැති බවයි.

ඒ අනුව අදාළ ඉඩමට කිසිවෙකුත් අයිතිවාසිකම් නොකියන්නේ නම් එම ඉඩම විකිණීමට කටයුතු කරන ලෙස රජයේ නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉඩම පිළිබඳ අවසන් තීන්දුව ලබන 14 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කලේය.