මහනුවර,මඩොල්කැලේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(11) උදෑසන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරෙන් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පන්විල පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මඩොල්කැලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 19 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.