පැවැති ආපදා තත්ත්වයෙන් පසුව පාසල් දරු දැරියන්ට පොත්පත් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ජාතික නිදහස් පෙරමු‍ණද සිසුදරු අත්වැල නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ සඳහා අධාර ලබාගැනීමට විමල් වීරවංශ පක්‍ෂයේ විදෙස් නියොජිතයන් සමග ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ පසුගිය ඉරිදා කතා කළේය.

මෙරටට ගැළපෙන පරිදි පොත්පත් හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන්නැයි විමල් එහිදී ඉල්ලා සිටියේය.ඉතාලිය හා බ්‍රිතාන්‍යයේ  විදෙස් කමිටු කාර්යාල සක්‍රීය මට්ටමේ තිබෙන බැවින් හැකි ඉක්මනින් අවශ්‍ය ආධාර ලබාදිය හැකියැයි එම කාර්යාලවල නියෝජිතයෝ විමල්ට පොරොන්දු වූහ.

මේ අතර පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කළුතර ආපදාවට ලක්වුණු ජනතාවට දැනෙන සේවයක් කරනවා යැයි විමල් ජානිපෙ සාමාජිකයෙකු සමග කතාකරමින් සිටින විට විමසීය. එවිට එම සාමාජිකයා ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේය. අත්‍යවශ්‍ය උපකාරයක් තිබේදැයි තෙවරප්පෙරුමගෙන් විමසන ලෙසට එවිට විමල් කියා සිටියේය. අනතුරුව එම සාමාජිකයා තෙවරප්පෙරුමට ඇමතුමක් ගෙන විමල් කියූ පණිවිඩය පැවසීය.

”මල්ලි යූඑන්පී මන්ත්‍රී කෙනෙක්වත් මගෙන් ඔය විදියට ඇහුවේ නෑ. විමල් තමයි මට මුලින්ම ඔය විදියට කතා කළේ. පුළුවන්නම් මල්ලි හාල් තුනපහ ටිකක් මේ පැත්තට දුන්නොත් හොඳයි” යැයි තෙවරප්පෙරුම කීවේය. ඉන්පසුව ජාතික නිදහස් පෙරමුණ විසින් එකතුකර තිබූ ආධාර තොගයක් ඔහුට ලබාදීමට පියවර ගෙන තිබිණි.