ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් සති කීපයක් තිස්සේ ආණ්ඩුවේත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවලත් පැවැති උණුසුම් දේශපාලන සංවාදය අවසන් කරමින් මහ බැංකු අධිපති ධුරයට ප්‍රවීණ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය අනාවරණය වීමෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ධුරයට නැවත පත් නොකළ යුතු බවට රටපුරා මහත් ආන්දෝලනාත්මක විවාදයක් පැතිර යද්දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්ත සහ ආචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා යෝජනා වී තිබිණි.
මේ අතර එම ධුරයට සුදුස්සකු පැය කීපයක් ඇතුළත පත්කරන බව ජනාධිපතිවරයා ගල්නෑවේදී ප්‍රකාශ කළ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු පිරිසට පවසා තිබුණේ සිකුරාදා දහවල් වන විට කෙනකු පත්කරන බවකි.
මේ තත්ත්වය හමුවේ පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා හමුවේ විශේෂ සාකච්ඡාවක් කළ අගමැතිවරයා මහ බැංකු අධිපති ධුරයට චරිත රත්වත්තේ මහතා පත් කරන ලෙසට වාචිකව යෝජනාවක් කර තිබේ. දැනගන්නට ඇති අන්දමට ජනාධිපතිවරයා එම යෝජනාවට එතරම් අවධානයක් යොමු කර නැත. මේ සාකච්ඡාවෙන් පසුව සිකුරාදා සවස අගමැතිවරයා පිටුදෙකකින් යුත් මතභේදාත්මක ලිපියක් ජනාධිපතිවරයා වෙත යවා තිබේ. එම ලිපියෙන්ද අගමැතිවරයා යෝජනා කර තිබුණේ චරිත රත්වත්තේ මහතා බැංකු අධිපති ධුරයට පත්කරන ලෙසයි. අගමැතිවරයාගේ ලිපියෙන් චරිත රත්වත්තේගේ නම යෝජනා කර තිබීම නිසා ජනාධිපතිවරයා ඍජුවම කෙළේ රත්වත්තේ මහතාට දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමයි. මේ අවස්ථාව ප්‍රශ්නයක් උද්ගතව තිබෙන නිසා සුළු කාලයකට මහ බැංකු අධිපති ධුරයට පත්වීමට ඇති කැමැත්ත පළකොට තිබේ. ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ මහ බැංකු අධිපති ධුරයට කෙටි කාලයකට කෙනකු පත් කළ නොහැකි බවත් එය ස්ථීර තනතුරක් බැවින් ස්ථීර කෙනකු පත්කළ යුතු බවත්ය.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ නම මහ බැංකු අධිපති ධුරයට යෝජනා වූයේ මේ සිද්ධින්වලින් පසුවය. ජනාධිපතිවරයා කුමාරස්වාමි මහතා ගෙන්වා මේ අදහස ඉදිරිපත් කළ අවස්ථාවේ කුමාරස්වාමි මහතාගෙන් ප්‍රකාශ වී තිබෙන්නේ ධනාත්මක අදහසකි.
අනතුරුව මහ බැංකු අධිපති තනතුරට පස් දෙනකුගේ නම් ජනාධිපතිවරයා විසින් පසුගිය සෙනසුරාදා අග්‍රාමාත්‍යවරයා වෙත යවා සවසට පිළිතුරක් අපේක්ෂා කරන බව දැනුම් දී ඇත.
ඒ පස්දෙනා වූයේ ආචාර්ය සමන් කැලේගම,
දිනේෂ් වීරක්කොඩි, ලලිත් සමරකෝන්, නන්දලාල් වීරසිංහ සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ය. ජනාධිපතිවරයාගේ එම ලැයිස්තුවට චරිත රත්වත්තේ මහතාගේ නම ඇතුළත් වී නොතිබිණි.
නම් ලැයිස්තුව ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නමට අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කොට තිබේ.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ දේශපාලන සටන අවසන් වූයේ මේ අයුරිනි.

  • 2016 07 04 සඳුදා මව්බිම ඇසුරින්

LEAVE A REPLY