හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර ‘ඩීල් එකක්’ පවතින බවට ඇතැමුන් චෝදනා කළත් සත්‍ය වශයෙන්ම එවැනි සම්මුතියක් පවතින්නේ අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු ජනපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව පවතින පරීක්ෂණ යටපත් කිරීමත් ‘මහින්ද රනිල් රහස් ගිවිසුමේ’ කොටසක් බව ජවිපෙ නායකයා සඳහන් කළේ කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඇතුළු රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන් සමඟ රහස් ගිවිසුමක් පවතින බවට ජවිපෙ එල්ල කරන චෝදනාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරයි.

ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීම සහ ගමන් බලපත්‍ර එකකට වඩා ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නේ ඔහු සහ අගමැතිවරයා අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවටත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

LEAVE A REPLY