කිසිදු අරගලයක් නැතිවම මහින්ද, මෛත්‍රී, රනිල් අපේ රටේ කෑල්ලක් චීන කොලණියක් කිරීමට යන බව පරිසර හා ස්වභාවදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

වමේ කේන්ද්‍රය විසින් කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව 2013 වසරේ සිට උද්ඝෝෂණ 2ක් කළ බවයි.

මෙම ව්‍යාපෘතියෙන් ජනතාවට සිදුවන හානිය සලකා යුරෝපා පාර්ලිමේන්තුවට ද ලිපියක් යොමුකර ඇති බවත්, ඒ අනූව මෙම ව්‍යාපෘතියට එරෙහිව ජාතික මට්ටමෙන් හා ජාත්‍යන්තර වශයෙන් විරෝධතා ආරම්භ කරන බවත්, හෙතෙම කීවේය.

මෙම මාධ්‍ය හමුව ඇමතු වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා පැවසුවේ පෝට් සිටි ව්‍යාපෘතිය මූල්‍ය නගරය ලෙස නම වෙනස් කර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන් යහපාලන ආණ්ඩුවද ජනතාව මුලා කරන බවයි.

පරිසරයට හානිකරන ව්‍යාපෘතියක් ඇරඹීමට අගමැතිවරයාට ජනතාව බලයක් දී නැති බවත්, මෙම ව්‍යාපෘතියේ රහස් ජනතාවට වසන් කරන බවත්, හෙතෙම පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ පරපුරක බලය කැඳවුම්කරු චාමර නාකන්දල මහතා පැවසුවේ කලින් ආණ්ඩුවේත් මේ ආණ්ඩුවේත් කිසි වෙනසක් නැති බවත්, දෙගොල්ලෝම කරන්නේ එකම දේ වෙනස් විදියකට බවත්, ඔහු කියා සිටියේය.

LEAVE A REPLY