උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීම සිදු ව තිබේ. මේ සියළු ව්‍යසනයන්ට මහින්ද රාජපක්ෂ මහතා හා මධ්‍යම පරිසර අධිකාරිය සෘජුව ම වගකිව යුතු ය. ඊට හේතුව වන්නේ දේශපාලන උවමනාවන් මත ප‍්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා පමණක් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට ඊනියා සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ලබා ගැනීමට උමා ඔයේ ජලය හම්බන්තොට ගෙන යාම සඳහා සැලැසුම් සකස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දීම හා එ් සඳහා සකස් කළ ඉතා ම දුර්වල හා අසම්පූර්ණ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි බලපෑම මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීම ය. දැනට සිදු වෙමින් පවතින සියළු ව්‍යසනයන්ට ප‍්‍රධාන හේතුව වන්නේ මේ වැරදි කි‍්‍රයාමාර්ගයන් ය.

මේ වැරදි කි‍්‍රයාමාර්ග වල ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම හා අභයපුර යන ගම්මාන වල පවුල් 650 ක් පමණ ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන් හා ගෙවල් ඉරිතලා කඩා වැටීමෙන් සංවර්ධන අනාථයින් බවට පත් ව සිටී.

බණ්ඩාරවෙළ, මකුල් ඇල්ල විද්‍යාලය මේ වන විට වසා දමා ඇත්තේ උමං කැනීම හේතුවෙන් භූමිය ඉරිතලා ගොඩනැගිලි වලට හානි සිදු වී ගිලාබැසීම් සිදු වී ඇති බැවිනි. දැනට මෙම පාසල විහාරස්ථානයක බණ මඩුවේ හා ප‍්‍රජා ශාලාවක පවත්වාගෙන යනු ලැබේ. බණ්ඩාරවෙළ, බැද්දෙ අරාව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි මඩුවෙගෙදර ග‍්‍රාමයේ නිවාස 20 ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. මේ සියළු ජනතාව උන් හිටි තැන් අහිමි වී සංවර්ධන අනාථයන් බවට පත්ව සිටී. ඩයරබා වේල්ල හා සම්බන්ධ උමඟ කැණීම ආරම්භයත් සමඟ ම හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුකුදේ ගමේ වගා බිම් හා මාර්ග සම්පූර්ණයෙන් ම ගිලා බැස, නායේ යෑමට ලක් ව තිබේ. අද වන විට ප‍්‍රධාන භූගත උමඟ කැණීම් කළ අඹදණ්ඬේගම ප‍්‍රදේශය ද භූ පැලූම් ඇති වෙමින් ගිලා බසිමින් පවතී.

මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ ප‍්‍රධාන උමෙඟ් හා ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන උමෙඟ් මීටර 300 ක් පමණ මේ වන විට කැණීම් කර ඇති අතර ඩයරබා ජලාශයේ සිට වැල්ලවාය, අලිකොට ආර ප‍්‍රදේශයේ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරය දක්වා ජලය ගෙන යන ප‍්‍රධාන උමෙඟ් කිලෝ මීටර 3.9 ක් මේ වන විට කැණීම් කර තිබේ. මේ දැවැන්ත විනාශය සිදු වී ඇත්තේ සම්පූර්ණ උමං පද්ධතියේ 16% ක වැඩ නිම වනවාත් සමඟ ය.

ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං 7 ක් කැනීමට නියමිත ව ඇත. එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතිය ම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත. මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාශාන සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාශාන වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ උමං තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ළිං සිදී යාම සිදු වී ඇති අතර භූ පැලූම් හේතුවෙන් නිවාස ඉරිතලා කඩා වැටීම සිදු වී ඇත. මේ තත්ත්වය අහඹු සිදුවීමක් හෝ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවේ.

මේ ව්‍යාපෘතිය පළමු සැලසුම් අදියරේ දීම අප විසින් මේ තත්ත්වය පිළිබඳ ව අවධාරණය කළෙමු. නමුත් එ් පිළිබඳ ව කිසිදු තැකීමකින් තොරව දේශපාලන ප‍්‍රතිරූප ගොඩනඟා ගැනීම හා කොමිස් මුදල් කුට්ටි වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ සියලූ ව්‍යසනයන් කිසිවක් පිළිබඳ ව අවධානයට ලක් නොවින. පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය අවසානයේ ඉරාන, ෆරාබ් සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 553 කට ය. මේ අනුව ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් කොමිස් මුදල් වශයෙන් පසුගිය රජයේ ප‍්‍රභලයන්ට ලැබී තිබේ.

ඉරාන අපනයන සංවර්ධන බැංකුව වසර 20 කින් ගෙවා දැමීමට මෙම ණය මුදල ලබා දුන්නේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරව ය. මෙවැනි බැංකුවලින් පසුගිය රජය දැවැන්ත ණය මුදල් ලබා ගත්තේ ඕනෑ ම හානි කර ව්‍යාපෘතියකට ණය ලබා ගැනීමේ පහසුව හා විශාල කොමිස් මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීමේ පහසුව ද නිසා ය. උමා ඔයේ ජලය ලූණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යාමේ පළමු සැලැසුම සකස් වූයේ 1991 වසරේ දී ය. එය සකස් කැරුණේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය විසිනි. ඒ වාර්තාව මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ව්‍යාපෘති වාර්තාව ප‍්‍රතික්ෂේප කැරිණ.

නමුත් මෙවන් දෑ පිළිබඳ ව කිසිදු තැකීමක් හෝ වගකීමක් නොගන්නා ඉරාන රජයේ මැදිහත් වීමෙන් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මේ ව්‍යාපෘතිය නැවත වරක් ක‍්‍රියාත්මක කිරීමට පසුගිය රජය කි‍්‍රයාත්මක විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 260 ක් වැනි විශාල මුදලක් මුල්ගල තැබීමේ කටයුතු වලට පමණක් වියදම් කරමින් 2008 අපේ‍්‍රල් මස 29 වන දින පෙ.ව. 10.00 ට උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වැල්ලවාය, අලිකොටආර දී ආරම්භ කෙරිණි.

එවකට අග‍්‍රාමාත්‍ය ව සිටි රත්නසිරි වික‍්‍රමනායක හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වාණිජ අමාත්‍ය මීර් රසාමි මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ කටයුතු සිදු කැරිණි. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ ව ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අනුමැතියක් හෝ නොමැති ව හුදු දේශපාලන වුවමනාවන් මත පදනම් ව නීති විරෝධි ලෙස මුල් ගල තැබීම සිදු විය. එසේ වුවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ඉරාන අපනයන සංවර්ධන බැංකුව, ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳ ව හෝ පාරිසරික බලපෑම් පිළිබඳ ව හෝ ජනතාව ගේ නිදහස් ජල අයිතිය පිළිබඳ ව හෝ අවධානය යොමු නොකර මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම ද විශේෂත්වයක් විය.

ඔවුන් පරිසරයට හෝ ජන දිවියට සිදු වන විනාශයට කිසිදු වගකීමක් නොගැනීම පුදුමයට කරුණකි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතන ණය මුදල් ලබා දීමේ දී පරිසරයට සිදුවන හානි හා ජනදිවියට සිදුවන හානි උපරිමයෙන් වැළැක්වීමට හා අවම කිරීමට අවධානය යොමු කළ ද පසුගිය රජය දැවැන්ත ණය ආධාර ලබා ගත් ඉරාන හෝ චීනය මූල්‍ය ආයතන වල ස්වභාවය මීට හාත්පසින් ම වෙනස් ය. එම ණය ආධාර ලබාගත් කිසිදු ආයතනයක් පරිසරයට සිදුවන විනාශයේ වගකීම භාර ගැනීමට සූදානම් නැත. එ් බව හොඳින් ම තහවුරු වූයේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදුවන කිසිදු පාරිසරික හානියක වගකීම භාර ගැනීමට චීනය සූදානම් නොවන බවත් එහි වගකීම ශ‍්‍රී ලංකා රජය භාරගත යුතු බවත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමත් සමඟ ය.

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු සැලැසුමකින් තොරව මුල්ගල තැබීමෙන් අනතුරු ව 2008 ජුලි මස 20 වන දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් විණි. එය සිදු කැරුණේ ඵ්ය්ඉ ඨයදාිි ක්‍දබිමකඑසබට ෑබටසබැැරසබට ජදපච්බහ නම් ආයතනය මඟිනි. ඉන් අනතුරු ව 2010 නොවැම්බර් මස දී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ වෙළුම් තුනකින් සමන්විත පරිසර බලපෑම් ඇගැයීම් වර්තාව ව්‍යාපෘති යෝජක ආයතනය වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් සකස් කැරිණි.

පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක‍්‍රියා කළ අතර, ඒ වාර්තාව 2010 දෙසැම්බර් මස 27 වන දා සිට රජයේ වැඩකරන දින 30 ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘත ව තැබිණ. ඒ කාලය තුළ ලිඛිත විරෝධතා විශාල ප‍්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරය වෙත පරිසර සංවිධාන, ගොවි සංවිධාන, ප‍්‍රජා සංවිධාන හා ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වන විශාල පිරිසක් විසින් යොමු කෙරින. නමුත් ඒ කිසිදු කරුණක් පිළිබඳ ව අවධානය යොමු නොකර ඉතා ම දුර්වල මට්ටමක පැවති පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අපේ‍්‍රල් මස 12 වන දා කොන්දේසි සහිත අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය ලබා දීමටත් ප‍්‍රථමයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. මේ ව්‍යාපෘතියේ දී පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුමැතිය ලබා ගැනීම යනු හුදු ලේඛනයකට පමණක් සීමා වූ කටයුත්තක් විය.

එවැනි වැරදි පූර්වාදර්ශ රාජ්‍ය ආයතනයක් විසින් ම ලබා දීම පාරිසරික නීති උල්ලංඝනයට සමාජය පෙළැඹවීමක් වැනි ය. ඉන් නොනැවතී මේ සියළු වැරදි වලට සංවර්ධන අනාථයින් බවට පත් වෙමින් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ පහළ ප‍්‍රදේශයේ නිදහසේ ජීවත් වූ අහිංසක ජනතාවට ය. මෙවන් වූ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව ඉතා ම දුර්වල වාර්තාවක් වීම ද මෙම දැවැන්ත විනාශයට හේතුවක් විය. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක මූලික ප‍්‍රධාන අංගයක් වන ප‍්‍රමාණවත් විකල්ප අධ්‍යයනය ද මේ වාර්තාවට ඇතුළත් කර නොතිබිණි. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක තිබිය යුතු මූලික ප‍්‍රධාන අංගයක් ලෙස විකල්ප අධ්‍යයනය සැලැකේ. මේ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ සිදු කර ඇත්තේ අතීතයේ සාකච්ඡුා කළ උමාඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජිත ව්‍යාපෘති වාර්තා කිහිපයක දත්ත පාදක කර වර්තමානයේ යෝජිත ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම පමණි.

එය පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ පවතින ප‍්‍රධාන අඩුපාඩුවකි. එ් මත ව්‍යාපෘතියෙන් සිදු වන සියළු බලපෑම් මඟහැරීම හා තාක්ෂණික ශක්‍යතාවය පිළිබඳ ව අවධානය යොමු කිරීම හිතාමතා ම මඟහැර ඇත. මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස ක‍්‍රියාත්මක වන ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර පහකින් නිම කිරීමට සූදානමින් සිටී. පළමු සැලැසුමට අනුව ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 76,316 කි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842 ක් වැය වේ. ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15% ක මුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැරිය යුතු වේ. මීට අමතර ව ඉඩම් අත්පත් කර ගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475 ක මුදල ලංකා රජයෙන් දැරිය යුතු ව ඇත. ව්‍යාපෘති කාලය තුළ මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු ඉඩම් අත්පත් කරගැනීම් කටයුතු හා නැවත් පදිංචි කිරීම් කටයුතු ඉතාම අක‍්‍රමවත්වීමට ප‍්‍රධාන හෙුතුවක් වී ඇත්තේ රජයට මේ සා විශාල මුදලක් දැරීමට හැකියාව නොමැති වීමය.

ණය ආධාර ලබා දුන් ඉරාන ආසියා සංවවර්ධන බැංකුවේ අරමුණ වූයේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබා දෙන ණය ආධාර මුදල නැවත ඉරාණයටම ලබා ගැනීමය. එ් සඳහා කොන්ත‍්‍රාත්කරු ලෙස ඉරාණයේ ෆාරාවේ සමාගම නම් කළ අතර ණය මුදල් වැඩි කොටසක් එම සමාගම හරහා ඉරාණයට නැවත ලබාගැනීමට සිදු විය. ඊට අමතරව වසර 20ක් ඇතුළත ණය මුදලද ගෙවා නිම කළයුතු විය.මේ අනුව ඉරාණය මෙම ව්‍යාපෘතිය සඳහා අති දැවන්ත මුදලක් ලංකාවෙන් නැවත හිමි වේ. නමුත් ඔවුන් ව්‍යාපෘතිය යටතේ අවතැන් වන ජනතාවට වන්දි ගෙවීමට හෝ පරිසරය ආරක්ෂා කිරීමට මුදල් ලබා දීමට එකඟ නොවූයේ එම මුදල් සෘජුව ම නැවත වරක් ඉරාණයට නොලැබෙන නිසා ය. පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත.

යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප‍්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැුවීම් ව්‍යාපෘතිය හේතුවෙන් මේ වාරි ව්‍යාපෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුධ වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවලූ සැලකිය යුතු ප‍්‍රමාණයක් අහිමි වීම ය.

යෝජිත උමාඔය ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවන්නන්ට කිරිඳිඔයේ ජල ද්‍රෝණියේ, අලිකොටආර ජලාශය, කුඩාඔය ජලාශය, හඳපානාගල වැව යටතේ අලූතින් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර, කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කර ලබාදීමට යෝජිත ව ඇත. මෙමඟින් සිදුවන හානිකර බලපෑම් කිහිපයකි. ඉන් ප‍්‍රධාන වන්නේ කිරිදිඔයේ ජල පෝෂක වනාන්තර තව තවත් අහිමි වීමෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වයන් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජලාශය රොන් මඩින් පිරීයෑමේ සීග‍්‍රතාව තවදුරටත් වැඩි වීම ය. මීට අමතර ව සංවර්ධනය කිරීමට යෝජිත කෘෂි බිම් ප‍්‍රදේශ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය ආශ‍්‍රිත ව හා අලි ගැවසුම් වනාන්තරයන්හි පිහිටා තිබේ. මේ අලින් ගේ වාසස්ථාන අහිමි වීමෙන් අලි-මිනිස් සහජීවනය බිද වැටීමෙන් දෙපාර්ශ්වයට ම උග‍්‍ර ගැටලූවලට මුහුණ දීම මේ ව්‍යාපෘතියත් සම`ග ම සිදු විය හැකි ය.

උමාඔයේ යෝජිත ජලාශවලට ඉහළින් ඇති වැලිමඩ හා නුවරඑළිය වැනි ප‍්‍රදේශ උග‍්‍ර පාංශු ඛාදනයට ලක්වන බිම් ප‍්‍රදේශ වෙයි. මීට අමතර ව මේ ව්‍යාපෘතිය හේතුවෙන් කිරිඳිඔය ද්‍රෝණියේ බොහෝ වනාන්තර ප‍්‍රදේශ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ඉඩම් ලෙස සංවර්ධනය කරනු ලැබේ. මේ හේතුවෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වය ද ඉතා අධික වේ. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ යෝජිත සමස්ත ව්‍යාපෘතිය යටතේ අලූතෙන් ඇති කරන ජලාශ හා ලූණුගම්වෙහෙර ජලාශය ශීග‍්‍රයෙන් රොන්මඬින් පිරීයන තත්ත්වයට පත් වීම ය. මෙමඟින් අවසානයේ සිදුවන්නේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ නොලැබෙන තත්වයකට පත් වීම යි.

ව්‍යාපෘතිය යටතේ ඉදිවන උමං හේතුවෙන් කඳුකරයට සිදුවිය හැකි බලපෑම ඉතා අධික ය. ව්‍යාපෘතියෙන් වෙන් වෙන් වශයෙන් භූගත උමං 7 ක් ඉදි වේ. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උමඟ, ඩයරබා ජලාශයේ සිට භූගත විදුලි බලාගාරය දක්වා ජලය ගෙන එන කිලෝමීටර 15.15 ක් දිග උමඟ, මේ උමග තුළ සකස් වන භූගත ජල හැරැුවුම් ටැංකි දක්වා පිවිසීමට ස්ථාන තුනකින් සකස්වන සම්පූර්ණ දිග කිලෝමීටර 2.24 ක් වන උමං ත‍්‍රිත්වය, භූගත ජල විදුලි බලාගාරය දක්වා පිවිසීමට හා අධිබලැති විදුලි රැුහැන් පද්ධතිය මතු පිටට ගෙන ඒම සඳහා සකස් වන කිලෝමීටර 1.44 ක් දිග උමඟ සහ බලාගාරයේ සිට අලිකොටආර දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.33 ක් දිග උමඟ වශයෙනි. ඉදි වන සම්පූර්ණ උමංවල දිග කිලෝමීටර 26 කි. මේ උමං කැණීමෙන් ඉවත්වන පාෂාණ ප‍්‍රමාණය කියුබික් මීටර 440,000 සිට 1,110,000 අතර වේ.
මේ ව්‍යාපෘතියේ වැඩි කොටසක් කි‍්‍රයාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි ප‍්‍රධාන බලපෑම් ය. මෙය ඉතා හානිකර ලෙස බලපානුයේ යෝජිත ව්‍යාපෘතියේ බොහෝ භූගත කැණීම් සිදු කැරෙන ප‍්‍රදේශ උග‍්‍ර නායයෑම් තර්ජනයට ලක් වූ කලාප වන නිසා ය. මේ හේතුවෙන් නායයෑම් තර්ජන උග‍්‍රවීම, පාංශු ඛාදනය උග‍්‍රවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යෑම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරා ම ඇති විය හැකි ය.

භූගත විදුලි බලාගාරයෙන් ජනනය කරන විදුලිබල ප‍්‍රමාණය මෙගා වොට් 120 කි. වාර්ෂික ව ගිගාවොට් පැය 231 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත ව ඇත. බලාගාරයේ උත්පාදනය කරන විදුලිය බදුල්ල දක්වා කිලෝමීටර 27 ක දුරක් අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඔස්සේ පරිවහනය කැරේ. එහි දී විශාල වනාන්තර ප‍්‍රමාණයක් රාවණා ඇල්ල අභයභූමියෙන් ඉවත් කිරීමට සිදු වේ. එපමණක් නොව රාවණාඇල්ල අභය භූමිය දෙකඩ වීම ද මේ ව්‍යාපෘතියෙන් සිදු වේ. එය එහි ජෛව විවිධත්ව හායනයට ප‍්‍රභල ලෙස බලපෑ හැකි ය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වාරි ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කැරෙන බොහෝ ප‍්‍රදේශ, ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර බිම් ප‍්‍රදේශ වෙයි. මේ ප‍්‍රදේශවල සත්ත්ව පාලනය (එළ ගවයන් හා මී ගවයන්) බහුල ව සිදු වේ. මේ බිම් ප‍්‍රදේශ සංවර්ධනය වීමත් සමඟ ම සත්ත්ව පාලනය සඳහා ඇති බිම් ප‍්‍රදේශ සීමා සහිත වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සත්ත්ව පාලන කටයුතු රක්ෂිත වනාන්තර වෙතට යොමු වීම තවදුරටත් වැඩි වීම යි. මේ වන විට උඩවලව හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයන්ට ඇති ප‍්‍රධාන තර්ජනය එළ හරකුන් හා මී හරකුන් අනවසරයෙන් වනෝද්‍යාන තුළට තණ කැවීම සඳහා යොමු කිරීම යි. මේ තත්ත්ය මෙකී සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම තවදුරටත් උග‍්‍ර විය හැකි බව මහත් ඕනෑකමින් අවධාරණය කරමු.

මේ සමස්තය පිළිබඳව අවබෝධයකින් තොරව උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් හානිපූරණය කළ නොහැකි දැවැන්ත හානිකර තත්ත්වයන් බොහොමයක් ඇති විය හැකි ය. එය හානියකින් පමණක් නතර නොවන්නේ මේ ව්‍යාපෘතිය බිලියන ගණනක මහා ධනස්කන්ඳයක් නිකරුනේ විනාශ කර දමන කිසිදු පළ ප‍්‍රයෝජනයක් නොමැති හුදු ව්‍යාපෘතියකින් පමණක් අවසන් වන නිසා ය. එපමණක් නොව අනාගත හා වත්මන් පරපුර ණයකරුවන් බවට පත්වීම පමණක් රටට අවසානයේ ඉතිරි වනු ඇත. මේ පිළිබඳ ව බුද්ධිමත්ව සිතා බලා විනාශයන් බොහොමයකට හේතු සාධක වන උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කරන මෙන් අප රටේ අනාගතය ගැන සිතන වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිමු.