මහබැංකු අධිපති ධුරය සඳහා දේශපාලන පක්ෂයකට හිතවත් පුද්ගලයෙක් පත් නොකරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය යන සංවිධාන ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පත් කර ගැනීමට තීරණාත්මක සහයක් ලබා දුන් මෙම සිවිල් සමාජ සංවිධාන දෙක අද කොළඹදී එක්ව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ නව මහබැංකු අධිපතිවරයෙක් පත් කිරීම කල් යාම ගැන සිය කනස්සල්ල පළ කිරීම සඳහා යි.

“ඊයේ දිනයේදී මහබැංකුවට අලුත් අධිපතිවරයෙක් පත් කරන බව ජනාධිපතිවරයා අපට දන්වා සිටියා. මේ වන තෙක් පත් කර නැහැ, මහ බැංකුව අරාජික වෙලා, මේක බරපතල කාරණාවක්’ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය කියා සිටියේය.

දැඩි විවේචන

තවදුරටත් මහ බැංකු අධිපතිධුරයේ රැදී සිටීමට උත්සාහ කිරීමෙන් මෙරටේ නීති ගරුක පුරවැසියන් පිහිටුවා ගත් ආණ්ඩුව විපතකට පත් නොකරන ලෙස මෙහිදී මහාචාර්ය සරත් විජේසූරිය, ඊයේ තම දුර කාලය අවසන් කල හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඉල්ලා සිටියේය.

නව මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ක්‍රියා කරන ආකාරය මෙහිදී සංවිධාන දෙකෙහිම විවේචනයට ලක් විය.

අර්ජුන් මහේන්ද්‍රන් තවමත් වැරදිකරුවකු බවට ඔප්පු වී නැති බවට අගමැතිවරයා ඊයේ කල ප්‍රකාශය මෙහිදී පුරවැසි බලය සංවිධානයේ කැදවුකම්රු ගාමිණී වියන්ගොඩ දැඩි විවේචනයට ලක් කළේය.

එක් පුද්ගලයෙක්

‘ඔප්පු වෙන කම් ඔහු අහිංසකයෙක් කියලයි අගමැති තුමා කියන්නේ. අධිකරණ ක්‍රියාවලියක් ඉදිරියේ තත්වය ඒක තමයි. ඒ වුනාට අද වෙන කොට බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල යන අය අත්අඩංගුවට අරන් තියෙන්නේ ඔප්පු වෙලාද ? අත්අඩංගුවට ගන්නේ ඔප්පු කරගන්න’ ඔහු පැවසීය.

අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ ඔහු කොතරම් දුරට පක්ෂග්‍රාහී ලෙස එක් පුද්ගලයෙක් ආරක්‍ෂා කිරීම සඳහා පෙනී සිටින ආකාරය බවයි ගාමිණී වියන්ගොඩ පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් පත් කර දේශපාලනීකරණය කල මහබැංකුවට නැවත දේශපාලන පක්ෂය හිතවතෙකු පත් නොකරන ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේ .