මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය සමතයකට පත්වන ලකුණු පහළවී ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් මතුකර ඇති චෝදනා පිළිබඳව විදිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, එතෙක් ඔහු නිවාඩු යැවීමටත් එකී පරීක්ෂණය අවසන් වනතෙක් වැඩබලන මහ බැංකු අධිපතිවරයකු නම් කිරීමටත් අගමැතිවරයා එකඟවී ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පුරවැසි බලය හා සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති දීර්ග සාකච්ජාවකින් පසු අගමැතිවරයා එම එකඟත්වය පළකර ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සිදුකෙරෙන මෙම පරීක්ෂණයෙන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නිර්දෝෂී බව ඔප්පු උවහොත් මහ බැංකු අධිපති ලෙස ඔහුගේ කාලය තවදුරටත් දීර්ග කිරීම යුක්තිසහගත බව එම සිවිල් සංවිධාන පිළිගෙන ඇති බවද වාර්තාවේ.

ජෝසෆ් ස්ටාලින්, මහාචාර්ය සරත් වීජේසුරිය, ගාමිණි වියන්ගොඩ, ගැමුණු විජේරත්න, සමන් රත්නප්‍රිය ඇතුළු කිහිපදෙනෙකුම මෙම සිවිල් සංවිධාන නියෝජනය කරමින් එම සාකච්ජාවට සහභාගී වී ඇත.

මහ බැංකු අධිපති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සාකච්ජා කිරීම සඳහා මෙම සංවිධාන දෙකෙහි නියෝජිතයින් පසුගිය සිකුරාදා ජනාධිපතිවරයාද හමුවූ අතර, එම සාකච්ජාවට අගමැතිවරයාද සහභාගිවී සිටියේය.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදී ඔහුව ඉවත් කරන ලෙස එල්ල වෙමින් තිබෙන දැඩි බලපෑම් හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනාධිපතිවරයා දැඩි පීඩනයකට ලක්ව සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY