සඳුදා දින මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට යෝජිතව තිබුනත් එය අද දිනයේ සිදු වුයේ කෙසේද? පත්වීම පිටුපස සිටින්නේ කවුරුන්ද?

පසුගිය දිනවල මහ බැංකු අධිපතිගේ පුටුව තරම් කතාබහට ලක්වුණු පුවතක් රට තුල නොවීය. නමුත් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හිටිහැටියේ පත් වී තිබේ. තිරය පිටුපස කතාව මෙසේ විය.

හිටපු මහ බැංකු අධිපතිට දැඩි විරොදයක් රටතුල, දේශපාලන වේදිකා තුල මතුවෙද්දී ඒ තනතුර සඳහා නව පත්වීමක අවශ්‍යතාවය මතුවිණි. යහපාලන ආණ්ඩුවක් යටතේ මේ සඳහා වඩාත් සුදුසු වන්නේ අපක්ෂපාතී, විශේසඥ දැනුමෙන් හා පළපුරුද්දෙන් හෙබි කෙනෙකු බවට වත්මන් ජනපතිතුමාගේ හා බහුතරයක් දේශපාලඥයන්ගේ මෙන්ම විද්වතුන්ගේද මතය විය.

මෙම හේතුව නිසාම වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සඳහා විද්වතුන් තිදෙනෙකුගේ නම් යෝජනා කරන ලදී. ඒ අතර ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නමද විය. ඉකුත් 29 වනදා මහබැංකු අධිපතිවරයාව පත් කිරීමට වත්මන් ජනපති යෝජනා කලත් ඒ සඳහා වත්මන් අගමැති තවත් කෙනෙකු යෝජනා කිරීම හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. මීට සමගාමිව මුදල් අමාත්‍ය රවී කරුණානායක විදේශගතව සිටීම හා මුදල් අමාත්‍යවරයා නැවත දිවයින වෙත පැමිණෙන තෙක් ලබන සඳුදා වන තුරු සිටිය යුතු බවට කල අගමැතිගේ යෝජනාව තවත් හේතුවක් ලෙස විය.

නමුත් අද උදෑසන ජනාධිපතිතුමා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා සිටියේ මහ බැංකු අධිපති ධූරය සඳහා ආචාර්යවරයා සුදුසු බවත්, නව අධිපතිධූරයේ රාජකාරී කටයුතු භාර ගැනීමට කැමතිද යන්න බවත්ය. මීට ප්‍රතිචාර දක්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජනාධිපතිතුමා වෙත කියා සිටියේ තමා ඊට කැමති බවය.

මෙම දුරකථන සංවාදයෙන් පසු සෘජු තීරණයක් ගත් වත්මන් ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම නිල නිවස වෙත වහාම පැමිණෙන ලෙසට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට දැනුම් දෙන ලදී. එය පිළිගත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හැකි ඉක්මනින් ජනාධිපතිතුමාගේ නිල නිවස වෙත පැමිණෙන ලදී. ඔහු පැමිණෙන විට වැඩ භාර ගැනීමේ ලියකියවිලි ද සකසා අවසන්ය.

ඉන්පසු ජනාධිපති නිල නිවසේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වත්මන් මහ බැංකු අධිපතිවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ තම රාජකාරී කටයුතු භාර ගන්නා ලදී.

1950 අප්‍රේල් මස තුන්වන දින උපත ලද ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලය, සහ එංගලන්තයේ හැරෝ යන පාසැල් වල පාසල් අධ්‍යාපනය ලබා ඇත. එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිය මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. 1973 දී ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සම්බන්ධවූ එතුමා , ආර්ථික පර්යේෂණ, සංඛ්‍යා ලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාස මාණ්ඩලික නිලධාරියෙකු ලෙස 1981 දක්වා කටයුතු කර ඇත. 1981 සිට 1989 දක්වා ඔහු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සේවය කර ඇත. ඉන් අනතුරුව ඔහු , 1990-2008 දක්වා  පොදුරාජ්‍යා මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක, ආර්ථික කටයුතු අංශය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු  දරා ඇත. නැවතත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, සමාජ පරිවර්තන වැඩසටහන අංශය සඳහා ප්‍රධානියා ලෙස පොදු රාජ්ය මණ්ඩලීය ලේකම් කාර්යාලය වෙත ආපසු ගෙන එන ලදී. ඔහු දැනට ගැලියන් සමූහ විශේෂ උපදේශක වේ.

කෙසේ වෙතත් ජනාධිපතිතුමා ගත් මෙම සෘජු තීරණය රටට වැඩදායී, අපක්ෂපාතී, විද්වතෙක් නව අධිපතිවරයෙකු ලෙස පත් කිරීමට සමත් වූ බවට මේ වන විටත් රට පුරාම දැඩි කතාබහට ලක්වේ.

LEAVE A REPLY