සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ගැන සෑහීමකට පත්වීමට නොහැකි නමුත්, ඉදිරි කාලයෙහි එම තත්වය වර්ධනය කර ගන්නා බවට ඔවුන් එකඟ වූ හෙයින් ක්‍රීඩා කිරීමේ අවසරය දුන් බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ අද(ජූනි 28) කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පළමු තරඟය සිකුරාදා ආරම්භ කෙරෙන අතර ඊට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ලැබුණේ ඊයේ අඟහරුවාදා (ජූනි 26) සවසයි.

එම ප්‍රමාදය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා “ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම ගැන පුහුණුකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරව” අවශ්‍ය අනුමැතිය දුන් බව කියා සිටියේය.

“සැහීමකට පත්වෙන්න පුළුවන් ශාරීරික යෝග්‍යතාවයක් නැහැ. නමුත් ඔවුන් ඒක වර්ධනය කර ගන්නා බවට එකඟ වුනා. ඒ එකඟතාව අනුවයි අවශ්‍ය සහතිකය මම දුන්නේ. ඉදිරි මාස තුන ඇතුළත නැවත පරීක්ෂණයක් තියලා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කරනවා” ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

එංගලන්තයේ පැවති ‘චැම්පියන්ස් කුසලාන’ තරඟාවලියේ දී ශ්‍රී ලංකාව සභාභාගි වූ තරඟ තුන අතරවාරයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ආබාධයට ලක් වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය මනා මට්ටමක නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ ඉන් අනතුරුවයි.

ඇමතිවරයාගේ ප්‍රකාශයට ලසිත් මාලිංග දුන් පිළිතුර දැඩි ආන්දෝලනයකට හේතු වූ අතර ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් පළකළ බව පවසමින් ලසිත් මාලිංගට අත්හිටවූ තරඟ තහනමක්ද පනවා ඇත.

තමන් කිසිදු අවස්ථාවක ලසිත් මාලිංග ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ සිදු නොකළ බව ක්‍රීඩා ඇමතිවරයා අවධාරණය කරයි.

“අන්තිමට ලසිත් මාලිංගයි- මායි අතර රණ්ඩුවක් ලෙසනේ මේක ගියේ .ෆිට්නස් ගැන මම කතා කරපු එක යථාර්ථවාදී කතාවක්. අවශ්‍ය නම් මට වාර්තා ඔක්කොම පෙන්වන්න පුළුවන් ඇත්ත තත්වය මොකක්ද කියලා” ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ප්‍රධාන ධාරාවේ නාලිකාවට අයිතිවන හිරු ගොසිප් තමයි පසුපස සිට මෙම ප්‍රශ්නය උඩුදුවන ලෙස කටයුතු කලේ , ඔව්න් කලේ මුළු රටේම ක්‍රිකට් වලට ප්‍රශ්නයක් ඇති කරපු එකයි”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වාර්තාවේ පිටපතක් දැක ගැනීමට හැකි වූ අතර එහි සඳහන් ආකාරයට ලෝක මට්ටමේ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගෙන යන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු පමණි.

එම වර්ගීකරණය අනුව ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් අයත් වන්නේ “වර්ධනය විය යුතුය” යන කොටසටයි.

විඩියෝව මෙතැනින් Click කර බලන්න.