පසුගිය ජුනි 05 වන දින මව්බිම මුල් පිටුවේ “සත්ත්ව ආහාර හදන්න බඩඉරිඟු දේශීය ගොවීන්ගෙන් ගන්න එපා. කෘෂිකර්ම ඇමතිගෙන් නියෝගයක්” සිරස්තලය යටතේ පළ වූ පුවත සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විශේෂ තීරණයක් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ධම්මික පීරිස් මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මේ බව සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“ඒ අනුව පුවතේ සඳහන් වන්නේ, ස්වභාවික පීඩා මධ්‍යයේ මිනිස් පරිභෝජනයටවත් ප්‍රමාණවත් බඩඉරිඟු අස්වැන්නක් නොමැති වකවානුවක සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මිලදී නොගන්නා ලෙස අමාත්‍යතුමා උපදෙස් ලබා දුන් බවයි.

මේ සම්බන්ධයෙන් ලබාගත් නීති උපදෙස් මත කෘෂිකර්ම අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ කීර්ති නාමයට හානියක් වී ඇති බැවින්, ඊට වගකිවයුතු මව්බිම කර්තෘ මණ්ඩලයට වහාම අමාත්‍යතුමා ප්‍රකාශ නොකළ දෙයක් ප්‍රකාශ කළ බව ප්‍රසිද්ධ පුවත්පතක පළකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදු වී තිබේ. මෙහිදී ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ කීර්ති නාමයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලැබී ඇත.

එහිදී එම ප්‍රවෘත්ති නිවැරදි කරමින් එම පුවත සාවද්‍ය බවට මව්බිම පුවත්පත මඟින් නැවත ප්‍රසිද්ධියේ ප්‍රවෘත්තියක් මඟින් ජනතාව වෙත දැනුම් දිය යුතු අතර මව්බිම වෙබ් අඩවියේ පළ වූ පුවත ද නිවැරදි කළ යුතු බව කර්තෘ මණ්ඩලය වෙත දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ කර්තෘ මණ්ඩලය වෙත එන්තරවාසි යවා ඇති අතර මේ පිළිබඳව නිසි පියවරක් නොගන්නේ නම් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව, ඉදිරි නීතිමය පියවර ගැනීමට සිදුවන බවට අදාළ පාර්ශවයට දැනුම් දී තිබේ.“