සෞඛ්‍ය සේවයේ සියල්ල නොමිලේ ලබාදෙමින් නිදහස් සෞඛ්‍යය යන වචනයට නිසි අර්ථයක් ලබාදුන්නේ වත්මන් රජය බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල අද (20) පෙරවරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ජයිකා ආයතනයේ සහ ශ‍්‍රී ලංකා රජයේ මුදල් ප‍්‍රතිපාදන මත රුපියල් මිලියන 900 කට වැඩි මුදලක් වැය කරමින් අංග සම්පූර්ණ රෝහලක් ලෙස රෝහල සංවර්ධනය කර තිබෙන අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී 2013 වසරේ එහි සංවර්ධන කටයුතු ඇරඹිණි.

බාහිර රෝගී අංශයකින්, හදිසි අනතුරු ඒකකයකින්, දැඩි සත්කාර ඒකකයකින්, භෞතික චිකිත්සක අංශයකින්, මාතෘ හා ළමා සායන, ළමා වාට්ටු ශල්‍ය වාට්ටු, ප‍්‍රසව හා නාරිවේද වාට්ටුවකින්, සුතීකාගාරයකින්, නොමේරු ළදරු ඒකකයකින්, ලේ බැංකුවකින් සහ අංග සම්පූර්ණ රසායනාගාර ඒකකයක් ඇතුළු සියලූ පහසුකම්වලින් රෝහල සමන්විතය.මීට අමතරව රුපියල් මිලියන 201 ක මුදලක් වැයකොට අතිනවීන වෛද්‍ය උපකරණ සපයා තිබෙන අතර රෝහලේ අත්‍යාවශ්‍ය අංගයක් වූ නව ජලසැපයුම් පද්ධතිය සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 20 කි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් කඩ නොකරන අතර, මාතෘ භූමිය ලෝකයේ ප‍්‍රබුද්ධ රටක් ලෙස ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවයි. පාලනය කළ නොහැකි සොබා දහමේ බලපෑම් හේතුවෙන් රටේ නිෂ්පාදන කි‍්‍රයාවලියට දැඩි බලපෑමක් එල්ල වුවද එම තත්ත්වයෙන් ජනතාවට වන පීඩාව හැකිතරම් අවම කරමින් ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

රට තුළ මතුව තිබෙන කාලගුණ සහ දේශගුණ තත්ත්වයන් හමුවේ වී නිෂ්පාදනය සහ එළවළු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් බඩු මිල ඉහළයාම දේශපාලන ප‍්‍රශ්නයක් ලෙස පෙන්වාදීමට ආණ්ඩුවට විරෝධි පිරිසක් කටයුතු කළද මෙවන් තත්ත්වයන් මෙම යුගයට පමණක් සීමා වූවක් නොවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරමින් එහි උපරිම ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට රජය කැපවී සිිිටින බව පැවසූ ජනාධිපතිතුමා ඩෙංගු උවදුර වැනි තත්ත්වයන් මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළට ජනතාවගේ ද උපරිම සහය ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

සංවර්ධනය කරන ලද රෝහල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ළමා වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන දරුවන් සදහා තිලිණ ප‍්‍රදානය කිරීමට ද එක් විය. සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ රෝහලක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ඉලෙක්ට්‍රෝනික සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර සංවර්ධනය කරන ලද රෝහල සදහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව, එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මොහාන් පෙරේරා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, ජපානයේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.