ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රටේ ප්‍රධානතම තනතුරු තුනක් වෙනුවෙන් නව පත්වීම් සිදුකල බව ජනාධිපති නිල ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඒ පහත පරිදියි,

ඒ අනුව මේ අතර නව ජනපති ලේකම් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මෙන්ම ශ්‍රී ලංක පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද වැඩ බාරගත්තේය.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා දිගු කලක් තිස්සේ එජාප හිතවතෙකු සේම ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති කෙරෙහිද එක සේ හිතවත්ව සිටි රාජ්‍ය නිලධාරියෙකි. එමෙන්ම කිසි දිනෙක ජාතිවාදියෙකු නොවූ ඔස්ටින් ප්‍රනාන්දු යහපාලන ආණ්ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑම සඳහා සුදුසුතම රාජ්‍ය නිලධාරියෙක් බව කිව හැකිය.

ඊයේ සඳහන් කළ පරිදි ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය රාජකාරි දිවිය පුරා පගාවට ලොල් නොවූ, ද්විභාෂා ප්‍රවීන, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, මහත්මයෙකි. ඔහුගේ රාජකාරී කාලය වසර 50 කට වඩා වැඩි මිස අඩු නැත. ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකු වූ ඔහු පේරාදෙණිය සරසවියෙන් සිය මූලික උපාධියත් පසුකලෙක ශ්‍රී ජයවර්ධන සරසවියෙන් සිය පශ්චාත් උපාධියත් ලබා ගෙන තිබේ. පරිපාලන සේවයට ඇතුලත් වීමට පෙර මඳ කලක් ගුරුවරයෙකු ලෙසද සේවය කර ඇත.

පොළොන්නරුව නුවර එළිය දිසාපති ලෙස රාජකාරි කර ඇති හේ සමුපකාර කොමසාරිස් වරයා ලෙසත් පෝස්ට් මාස්ටර් ජෙනරාල් ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ආදී ප්‍රබල අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා ලෙසත් රාජකාරි කර තිබේ. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධූරයද දැරූ ඔහු අද ජනාධිපති ලේකම් වරයා ලෙස පත් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙසද ක්‍රියා කෙළේය.

මෙම පත් කිරීමේ ඇති තවත් විශේෂ සිදුවීම නම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම රැකියාව වූ ග්‍රාම සේවා නිලධාරී තනතුර දරද්දී ඔහුගේ උසස් නිලධාරියා වූ දිසාපති ධූරය දැරුවේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා වීමයි. අද තම ගෝලයා ජනාධිපති වී ඔස්ටින් ඔහුගේ ලේකම් වීම දෛවෝපගත සිදුවීමකි.

හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ. ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගිනි.

නව යුද හමුදාපති ලෙස හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මහේෂ් සේනානායක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට ඇති අතර ඔහු මේජර් ජනරාල් ධුරයේ සිට ලුතිනන් ජනරාල් ධුරය දක්වා උසස්වෙනු ඇත.

යුද හමුදාපති ලෙස සිටි ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් තනතුරට උසස් කළ අතර ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබේ. සේවා දිගු දෙකක් ලැබූ ඒ මහතා ලබන අගෝස්තුවේ විශ්‍රාම යෑමට නියමිතය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන මහේෂ් සේනානායක මහතා ද ලබන අගෝස්තුවේ විශ්‍රාම යෑමට නියමිත අතර නව තනතුරට පත් කිරීමෙන් පසු සේවා දිගුවක් ලබා දෙනු ඇතැයි යුද හමුදා ආරංචි කියයි. 1981 වසරේ දී යුද හමුදාවට සම්බන්ධ වූ සේනානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

යාපනය ආරක්ෂක සේවා ආඥාපති ලෙස ද කටයුතු කර ඇති මහේෂ් සේනානායක මහතාට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හමුදාපති ධුර කාලයෙන් පසු නිසි සැලකිල්ලක් නොලැබුණු බව යුද හමුදා ආරංචි කියයි. ඔහු නීති ගරුක යුද හමුදා සාමාජිකයන් අතර දැඩි ප්‍රසාදයක් දිනා ගත් නිලධාරියෙකි.

තව ඇත්තේ පූජිත, විජේදාස හා සාගල වෙනස් කිරීම පමණයි..!

දූෂණ වංචා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නැවත දූෂණ වංචාවලින් තොරව රාජ්‍ය පාලනයට අවශ්‍ය පියවර ගැනීම ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් පරම වගකීමකි. මෙහි වැදගත්කම හා අවශ්‍යතාව ජනාධිපති වරයාට සිවිල් සංවිධාන වසරකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දී ඇත. සිවිල් සංවිධාන නඟන හඬට ඇහුම් කන් දෙමින්, ඔවුන් පෙන්වා දෙන කරුණු කාරණ සලකා බලා ජනාධිපතිවරයා පොරොන්දු වූයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබෙන්නේ ද නැත.

එහෙත් ජනාධිපතිවරයා මැදිහත්වී මුරන්ඩු තීරණයක් ගෙන හෝ සාගල ගේ අමාත්‍යකම වෙනස් කළ යුතුමය. එෆ්සීඅයිඩී එක දැනටමත් දිය කර හමාරය. රහස් පොලීසිය අධෛර්යට පත් කරන කටයුතු අපමණය. අගමැතිවරයා සිය අගසව් සේ සලකා කටයුතු කරන සාගල රත්නායක එළිපිටම රාජපක්ෂවරුන්ට හිතෛශීව කටයුතු කරන බවට තොරතුරු කීප වතාවක්ම අනාවරණය වී ඇත.

එමෙන්ම ඇවන්ගාඩ් එකට එළිපිට කඩේ ගිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමන් අධිකරණ ඇමති වී සිටින තාක්කල් රාජපක්ෂවරුන්ට නීතිය ක්‍රියාත්මක ඉමට ඉඩ ලබා නොදෙන බව කියන්නේ ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයගෙත් රෙදි ගලවමින්ය. දැනටමත් විජේදාස මැදිහත්වී රාජපක්ශවරුන්ට චෝදනා එල වී ඇති දූෂණ චෝදනා අඩංගු ෆයිල් රැසක් යට ගසමින් කටයුතු කරමින් සිටියි.

එමෙන්ම පොලිස්පතිවරයාද පෙන්වන්නේ බයිස්කෝප්ය. තමන්ගේ ප්‍රතිරූපය පෙන්වමින් ඔහු තනිකරම පොලිසිය දේශපාලනිකව දිය කර හැරීමට කටයුතු කරන්නේ රාජපක්ෂ නාටකයේ ප්‍රධාන චරිතයක් රඟ දක්වමින්ය.

රටේ ඉදිරි ගමන යහපත් කිරීම පිණිස මෙම වෙනස්කම් සිදුකිරීම ඉතා වැදගත් වනු ඇති බවට ජනතාව බලාපොරොත්තුවෙන් පසුවනවා.