2015 ජනවාරි 08 වැනිදා ශ්‍රී ලාංකික දේශපාලන කෙෂ්ත්‍රය තුළ විස්මය ජනක මෙන්ම ‍ඓතිහාසික විප්ලවයක් සිදු කරමින් මෙරටේ හයවැනි ජනාධිපතිවරයා ලෙස පත් වු ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ භූමිකාව පිළිබඳව අද කෙරෙන එක් ප්‍රබල විවේචනයක් වී තිබෙන්නේ ඔහු සිය දේශපාලන පක්ෂය වූ ශ්‍රී ල.නි.ප.යේ සභාපතිත්වය නැතහොත් නායකත්වය භාර ගැනීමය. මෛත්‍රීපාල මහතා ජනාධිපතිධූරයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූ සිවිල් සමාජ ක්‍රියාකාරීහු ඔහු ශ්‍රී ල.නි.ප.ය භාර ගැනීම පිළිබඳ කනස්සල්ල පල කරති. පොදු අපේක්ෂකයකු ලෙස පත්වු ඔහු යලි තම පක්ෂය භාර ගැනීම නිසා ඔහුගෙන් අපේක්ෂා කළ දේශපාලන වෙනස සපුරා ගත නොහැකි වු බව ඔවුහු දක්වති.

සිවිල් සංවිධාන විසින් නඟනු ලබන එම චෝදනාවේ පදනම කුමක් ද? යන්න මෙන්ම එදා පොදු අපේක්ෂකත්වය භාර ගැනීමේදි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් යළි පක්ෂ දේශපාලනයට නොඑන බවට ප්‍රතිඥාවක් දෙන ලද්දේ ද යන ප්‍රශ්නයද මෙහිදි පැන නගී. සැබැවින්ම තමන් යළි දේශපාලනයට අවතීර්ණ නොවී ජනාධිපතිධුරයෙන් සමුගන්නා බවට කවර හෝ සම්මුතියකට එළඹ සිටියේ නම් සිවිල් සංවිධානවල විවේචනයට පදනමක් තිබේ.

කෙසේ හෝ ඒ ප්‍රශ්න පසෙක තබා පොදු අපේක්ෂකයා ලෙස පත්ව ජයග්‍රහණය කිරීමෙන් පසුව මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ දේශපාලන ක්‍රියාවලිය කුමක් ද යන්න විමසා බැලිය හැකිය. එදා මෛත්‍රීපාල හා මහින්ද අතර සිදුවු දේශපාලන සටන නිසැකයෙන්ම මෙරටේ අතිශය තීරණාත්මකවූද දැඩි අභියෝගාත්මකවූද සටනක් බව කිව යුතුය. සමහරුන් එම සටන හැඳින්වුයේ මෛත්‍රීපාල මහතා කළුගලක හිස ගසා ගැනීමක් ලෙසය. තවත් සමහරුන්ට අනුව එහි කිසිදු සටනක් නොවීය. ප්‍රතිවාදියකු නැති නියතජය සටනක් ලෙස  එය හැඳින්වූ මහින්දවාදීහුද සිටියහ.

සැබැවින්ම මහින්ද මහතා සටනට පිවිසියේ සියලු භෞතික සම්පත්ද, පිරිවර සම්පත්ද, නිල, බල, ධන යන සියල්ලෙහි ආධාර අනුග්‍රහයන්ද මැදය. සියලු රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය බහුතරයක්ම මහින්ද මහතා සමඟ වූ බවද රහසක් නොවේ. මහින්ද ජනාධිපති පමණක් නොව ත්‍රස්තවාදය පරාජය කළ නායකයාද විය. ඔහු සටනට ඒම සඳහා 19 වන ව්‍යවස්ථාව පවා සංශෝධනය කර තිබුණි. එයට එරෙහිව හඬක්  නැගීමට කිසිවෙක් එදා ආණ්ඩුවේ හෝ ප්‍රාදේශීය දේශපාලනයේද නොවූහ. එසේම මෛත්‍රීපාල මහතා පක්ෂයට පිටුපෑ දෝහියෙකු ලෙසද සමහරු චෝදනා කළහ. මේ සියල්ල මෙන්ම නීතියද තිබුණේ මහින්ද පාර්ශවයේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබුණේ සත්‍යය, අධිෂ්ඨානය, අවංක බව, පරිත්‍යාගය, මානව හිතවාදීත්වය හා දූෂණයට, භීෂණයට, අයුක්තියට, අසාධාරණයට, නිලයට, බලයට, අවනීතියට විරුද්ධ වූ පිරිසකගේ සාමූහික සහායයි. සිවිල් සංවිධානවලට අමතරව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයද ඔහු සමඟ සිටි ප්‍රමුඛ බලවේගයකි. ඒ හැරුණු විට එ.ජා.ප.ය , හෙළ උරුමයේ පිරිසක් හා වෙනත් ස්වාධීන ආයතන මෙන්ම දෙමළ හා මුස්ලිම් ආදි ජන කොටස්වල සහාය ලැබුණේද මෛත්‍රීපාල මහතාටය.

මැතිවරණ සමීක්ෂණ වාර්තා මෙන්ම ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි වලින්ද පෙරමුණේ සිටියේ මහින්ද මහතාය. කොටින්ම  මහින්ද රැල්ල දස දෙස වසා ගෙන තිබුණි. එහෙත් ඒ සියල්ලටම යටින් හීන්සැරයෙන් විහිද ගිය නව බලවේගයක් මෛත්‍රීපාල මහතා සමඟ සැඟවී තිබුණි. ඔහුගේ සහායට එළිපිට පැමිණි පිරිස් හිඟ වුවද අප්‍රකටව ඔහු සමඟ ගොඩ නැඟුණු නැතහොත් අදිසි බලවේගයක්ද විය. මහින්ද තරමටම දේශපාලන වශයෙන් තෙම්පරාදු නොවුවද මෛත්‍රීපාලද දේශපාලන ආධුනිකයෙක් නොවීය. එකම දේශපාලන සටන් බිමක මිත්‍ර සගයන් ලෙස දෙදෙනාටම සමාන අත්දැකීම් තිබුණි.

මෙහිදී තවත් කරුණක් අපගේ අවධානයට යොමු විය යුතුය. එනම් මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගත් කඳවුරේ එ.ජ.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මීට පෙර ජනාධිපතිවරණයකදි මහින්ද සමඟ සටන් කළ සරත් ෆොන්සේකා මහතාද වූහ. පක්ෂ නායකයකු නොවු පක්ෂයක මහ ලේකම් පදවියක් පමණක් හෙබවු මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා බවට තෝරා ගත් අයට ඔහු පිළිබඳව ප්‍රබල විශ්වාසයක් තිබුණු බවද ඉතා පැහැදිලිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද මේ තේරිම් කමිටුව තුළ වුවාය.

එ.ජා.ප.යේ මෙන්ම සුළු ජාතීන්ගේ සහායට අමතරව ජ.වි.පෙ. නොනිල සහායක්ද මෛත්‍රීපාල මහතාට ලැබුණු බව පෙනේ. මෛත්‍රීපාලගේ ජයග්‍රහණය දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට පමණක් නොව නීතිගරුක, යුක්තිගරුක, ප්‍රතිරූප දේශයක් සඳහා අවශ්‍ය දෙයක් බව ජනමනසට කාවැද්දීම සඳහා විද්වත්හු මෙන්ම කලාකරුවෝද කැප වූහ. විශේෂයෙන් සමාජ වෙබ් අඩවි ඔස්සේද මෛත්‍රීපාල ජයග්‍රහණය කරවිය යුතුය යන මතවාදය තහවුරු කර තිබුණි. මහින්ද මහතාට යළි බලය දීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ලෙස ඉදිරිපත් වූ අදහස පිළිබඳවද සමහරු කල්පනා කළහ.

සිය ධූර කාල දෙකක් මදිවී තවත් ධූරකාලයක් ඉල්ලා සිටින මහින්ද මහතාට සහාය දිය යුත්තේ කුමකටද යන ප්‍රශ්නය ජනමනස තුළද රැව් දෙමින්  තිබුණි. මහින්දට ආයුබෝවේවා මහරජාණනි යනුවෙන් ප්‍රශස්ති ගී නැගෙද්දී මෛත්‍රීට ලැබුණේ අවමන්, ගැරහුම්, සරදම්ය. කොටින්ම ඔහු අධිරාජ්‍යවාදී බලවේගයක රූකඩයක් ලෙස මහින්දවාදීහු කියා සිටියහ. තවත් බොහෝ දේවල් මැතිවරණ වේදිකාවලත් රූපවාහිනි ප්‍රචාරක ජාලයේත් සිදු වූ බවද සඳහන් කළ යුතුය.

මේ සියලු තතු යටතේ වුවද මහින්ද අභිබවා මෛත්‍රීපාල විජයග්‍රහණය කරවමින් 2015 ජනවාරි 8 වැනිදා ඉතිහාසයට එක්විය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මහින්ද මහතාට තමන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව නිරවුල්ව වටහා ගත හැකි විය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත් දිවුරුම් දුන්හ. අනතුරුව අලුත් කැබිනට් මණ්ඩලයක්ද ප්‍රකාශයට පත් විය. ඉනික්බිතිව දින සියයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වී එහි ප්‍රබලම ලක්ෂණය වු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද සම්මත විය.

දෙවැනි වටය එළඹෙන විට ශ්‍රී ල.නි.ප.ය සන්ධානය ලෙසත් එ.ජා.ප.ය සහ තවත් පක්ෂ කීපයක් එක්වී පෙරමුණක් ලෙසත් මහ මැතිවරණයකට යොමු විය. මේ වනවිට ශ්‍රී ල.නි.ප.ය තුළින්ම මතුවු ඉල්ලීමක් අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පක්ෂ නායකත්වයද ලැබුණි. මහින්ද මහතා සිය කැමැත්තෙන්ම නායකත්වය ඔහුට පැවරීමද කැපී පෙනුණි. එහෙත් මෙහිදී කිසිවෙක් අපේක්ෂා නොකළ දෙයක්ද සිදුවිය. ඒ මහින්ද මහතා යළි මන්ත්‍රීවරයකු ලෙස තරඟ වැදීමට ඉදිරිපත් වීමය. නොයෙක් අර්බුද හා ගැටුම් මැද සන්ධානය මැතිවරණයට මුහුණ දෙද්දී මෛත්‍රී ජනාධිපතිවරයා ඒ ඡන්ද සටනින් ඈත්වී සිටීමද කැපී පෙනුණි.

මහමැතිවරණයේ ප්‍රතිඵලය අනුව එ.ජා.ප.යට සන්ධානයට වඩා ආසන කීපයක් හිමිවී පර්ලිමේන්තුවේ බලයට සුදුසුකම් ලබා ගත්තේය. අලුත් කැබිනට් මණ්ඩලය තෝරා ගත් ආකාරය මෙන්ම ශ්‍රී ල.නි.ප.යේ පරාජිතයන්ට ඇමතිකම් ලබාදීම පිළිබඳවද ජනාධිපතිවරයාට විවේචන එල්ල විය. යහපාලන පිළිවෙත ගැන එල්ලවු සියලු විවේචන වලට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදු විය.

මෙතැනදී තවත් දෙයක් සිදු විය. ඒ බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදි රාජපක්ෂ පාලන සමයේ සිදුවු අක්‍රමිකතා හා දූෂණ පිළිබඳ විමර්ශන කඩිනමින් සිදු නොවීමය. දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු වුවත් නීතිය හා යුක්තිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් වීම සිදු වුවත් අනෙකුත් “හොරු ඇල්ලීම” හා “දඬුවම් දීම”  සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව අසමත් වී ඇතැයි යන චෝදනාව නැගෙන්ටද විය. රාජපක්ෂවරුන්ට රැකවරණය ලබා දෙන්නේය යන චෝදනාවද එල්ල විය.

සිවිල් සංවිධාන කියන ආකාරයට මේ සියල්ලටම හේතුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රී ල.නි.ප.යේ නායකත්වය භාර ගැනීමද ? එහෙත් එය නිවැරදිම පිළිතුර විය නොහැක. මෛත්‍රීපාල මහතා පක්ෂය භාර ගන්නේ එයද ප්‍රතිසංස්කරණය කිරීම සඳහාය. ශ්‍රී ල.නි.ප.ය යනු බලලෝභීන්ට මෙන්ම පටු අවස්ථාවාදීන්ට උරුම කර දිය යුතු පක්ෂයක් නොවන බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා කල්පනා කිරීම නිසා ඔහුගේ එම දේශපාලන මැදිහත්වීම සිදු වූ බව නිසැකය. ජාතිවාදය හා අන්තවාදය යන විෂබීජ පක්ෂය තුළින් ඉවත් කිරීමටත් එය පොදු ජනයාගේ පක්ෂයක් ලෙස නගා සිටුවීමටත් ජනාධිපතිවරයාට අවශ්‍ය විය. දූෂිතයන්ගේ, වංක පුද්ගලයන්ගේ වාසභූමියක් බවට පත්ව තිබෙන තම ආදරණීය පක්ෂය ඉන්මුදවා ගත යුතුය යන අදිටන පක්ෂයේ ලේකම්වරයකු ලෙස සිටි මෛත්‍රීපාල මහතා තුළ ඇතිවීම වරදක් ලෙස අරුත් ගැන්විය හැකිද ?

ශ්‍රී ල.නි.ප.ය වසා ගනිමින් තිබුණු රාජපක්ෂ සෙවනැලිවලින් පක්ෂය මුදවා ගෙන එය පක්ෂ නිර්මාතෘවරුන්ගේ අරමුණු අනුව පවිත්‍ර කිරීමට හැකි ශක්තිය ඇත්තේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පමණි. බණ්ඩාරනායක චින්තනය වූ ජාතිභේදයෙන් තොර සියලු මානව වර්ගයාට මානව භක්තියෙන් සැලකීම හා සිංහල ජාතික උරුමයන් සුරකිමින් දෙමළ, මුස්ලිම් උරුමයන් ආරක්ෂා කිරීමද ශ්‍රී ල.නි.ප.යේ නූතන  න්‍යාය පත්‍රය බවට පත් කළ හැක්කේද මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පමණි. සඟ, වෙද ගුරු, ගොවි, කම්කරු  ඇතුලු සියලු කොටස් ඒකරාශි කරමින් දෙමළ හා මුස්ලිම් නායකයන්ද සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ හැකි නායකත්වයත් අද ශ්‍රී ල.නි.ප.යට අවශ්‍යව තිබේ. ශ්‍රී ල.නි.ප.ය ජාතික දේශපාලන සංස්ථාවක් බවට පත් කිරීමට හැකි නායකයාද ජනාධිපතිවරයා පමණි.

මේ කිසිදු වුවමනාවක්, අපේක්ෂාවක් නොවුයේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යලි ශ්‍රී ල.නි.ප.යේ භාරකාරත්වයට උරදේ යැයි සිතිය නොහැක. බෙදී වෙන්වී යාමේ අනතුරත්, ජාතීන් අතර තිබෙන අවිශ්වාසය මත පදනම්වු භේදයත් මේ මාතෘභුමියට ඕනෑවටත් වඩා විනාශයක් සිදු කළ බව ඉඳුරා දන්නා සංවේදී හා පරිණත දේශපාලනඥයකු අභීත, අවංක අපිස් නායකයකු ලෙස මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කෙසේ නම් නිර්දේශපාලනික පුද්ගලයෙක් විය හැකි ද? සත්‍යය හා අවංකභාවය ගිලිහී ගිය දේශපාලන පක්ෂ යලි උතුම් ජනතා ව්‍යාපාර බවට පත්කිරීම එක රැයකින් කළ හැකි ප්‍රාතිහාරයක් නොවන බවද අමුතුවෙන් කිව යුතු නැත.

අද රට අබියස ඇත්තේ අභියෝග වැලකි. ජනමනස තුළ වු භීතිය, සැකය නැතිව ගොස් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල්ව නීතිය හා යුක්ති ධර්මය සලකන ආණ්ඩුවක් මෙන්ම දේශපාලන පක්ෂත් රට තුළ තිබිය යුතු බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැඩිව පිළිගත් දෙයකි. අන්තවාදී, ජාතිවාදී පක්ෂ වෙනුවට මානවහිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ රටට වුවමනා බව ඉතිහාසය අවධාරණය කර තිබේ. යුද ගැටුම් වලින් තොර මානව සමාජයක අභිලාෂය මුදුන් පත් කළ හැකි වන්නේ විදන්ධ දේශපාලන පක්ෂ ක්‍රමයක්ද තහවුරු කිරිමෙන් පමණි.

ජී.ඇස්.දලුගොඩආරච්චි