ජලය ඉල්ලා හඬන රජ රට ගොවි ජනතාවගේ කඳුළු කථාව නිමා කෙරෙන මොරගහකන්ද කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය 2018 දී ජනතා අයිතියට පවරන බව ජනපති පවසයි.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලූව සහ ජලය ඉල්ලා හඬන රජ රට ගොවි ජනතාවගේ කදුළු කථාව නිමා කෙරෙන මොරගහකන්ද – කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය 2018 වසරේ ජනතා අයිතියට පවරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති උපාධිධාරින් දහසක් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවය අමතමිනි.

“දහසක් මල් – ඉගෙනුමට මුල් තැන” මැයෙන් උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස දැනුම කේන්ද්‍රීය සමාජයක් උදෙසා උපාධිධාරින් දහසක් ගුරු සේවයට බඳවා ගැනීම හා දිවයිනේ ප්‍රථම වරට පෙර පාසල් ගුරුවරියන් 2500 ක් සඳහා රක්ෂණ හිමිකම් සහ සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබාදීම ද මෙහිදී සිදු විය.

එමෙන්ම දිවයිනේ ප්‍රථම වරට පළාත් පාලන ආයතන සඳහා උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාධාරින් 25 ක්, සහකාර ගිණුම් නිළධාරින් ලෙස බඳවා ගැනීම ද සිදු කෙරිණි.

එක් දිස්ත්‍රික්කයකට එක් ලෙසකටත් තවත් දිස්ත්‍රික්කයකට තවත් ලෙසකටත් බෙදන දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන න්‍යාය පත්‍රය වෙනුවට ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනාගත් සැමට සාධාරණ සමබර සංවර්ධනයක් වත්මන් රජය විසින් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ආණ්ඩු හදන අය තමන්ගේ ප්‍රදේශ පමණක් සංවර්ධනය කර ගැනිම හේතුවෙන් දශක 03 ක ම්ලේච්ඡ යුද්ධයකට අපට මුහුණදීමට සිදූ වූ බවද සිහිපත් කළ ජනාධිපතිතුමා අප දොස් නැඟිය යුත්තේ අප විසින් ඉටු කළයුතු වගකීම් ඉටු නොකිරීම පිලිබඳව මිස මතුව තිබෙන අසමානතාවය පිලිබඳව හඬ නඟන අයට නොවන බව ද ප්‍රකාශ කළේය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට ගැළපෙන නව දර්ශනයක් සමඟ අධ්‍යාපන ප්‍රතිපත්තින් සකස් කිරීමට නව රජය කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය තුළම නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ප්‍රමුඛ වගකීමක් ලෙස ඉටු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා ගුරු සේවයේ තිබෙන ගැටලූ විසඳීමට ද විශේෂ අවධානයෙන් කටයුතු කරන බව කියා සිටියේය.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

09-3-1024x312-1 06-7-1024x958 04-10-1024x653