මොහොමඩ් අලි නමැති බොක්සිං ශූරයා තුළ ‘මානව හිතවාදියකු’ ජීවත් වූ බව ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.

කැෂියස් ක්ලේ හෙවත් මොහොමඩ් අලි පිළිබඳ ලෝකයම දැන ගත්තේ බොක්සිං වළල්ල තුළ ඔහු දැක්වූ දස්කම් නිසා නමුත් මානව සංහතිය වෙනුවෙන් ඔහු තුළ ගැඹුරු දැක්මක් පැවති බව මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේ සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

වියට්නාම් යුද්ධය සඳහා අනිවාර්ය යුද සේවයට අනුයුක්ත කළ මොහොමඩ් අලි හමුදා සේවයට යෑම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහු යුද විරෝධියකු වශයෙන් හැඳින්විය හැකි බවයි ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ.

‘මොහොමඩ් අලි කියන්නේ, ප්‍රතිමල්ලවයකු සමග සටන් කරන වෘත්තීය ඉතිහාසයක් තිබෙන කෙනෙක්. නමුත් මහ පරිමාණයෙන් කෙරෙන වියට්නාම් යුද්ධයට ඔහු විරෝධය පෑවා. මිනිස් විනාශයට ඔහු විරුද්ධයි කියන කරණය තමයි ඒ හරහා ගම්‍ය වුනේ’ ඔහු පැවසීය.

වියට්කොං ගරිල්ලන්ට එරෙහිව තමාට සතුරුකමක් නොමැති බැවින් ඔවුන්ට එරෙහිව සටන් කිරීමට නොහැකි බව මොහොමඩ් අලී තර්ක කළ බවයි ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ.

‘සාම නියෝජිතයෙක්’

එවකට ඇමරිකාවේ කළු ජාතිකයන්ට අහිමිව තිබූ සමාන මිනිස් අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් මොහොමඩ් අලි සිය හඬ අවදි කිරීම තුළින් ඔහු තුළ ජීවත් වූ මානව හිතවාදියා වඩාත් ඉස්මතු වූ බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ.

‘පෑගෙන මිනිස්සු වෙනුවෙන්, විශේෂයෙන් කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකාවේ නීතිරීති පවා තිබුනා. කළු ජාතිකයන්ට සුදු ජාතිකයන් සතුව තිබූ අයිතිවාසිකම් අහිමි කොට තිබුනා. ඔහු ඒ මොහොතේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා’ ගාමිණී වියන්ගොඩ කියා සිටියේය.

මොහොමඩ් අලි ගේ චරිතය තුළ වූ මානව හිතවාදී ගුණාංග නෙල්සන් මැන්ඩලා වැනි ලෝක නායකයන් මෙන්ම ජිමී කටාර් වැනි දේශපාලන නායකයන්ගේ ද ඇගයීමට ලක් වූ බවයි ඔහු පවසන්නේ.

‘ඇත්තටම ඔහු පෙන්නුම් කළා බොක්සිං වලල්ලේ ගහ ගන්න කෙනෙකුට අමතරව ලෝකය වෙනුවෙන් තම නම යොදාගෙන කරන්න පුළුවන් යහපත් දේ තිබෙන බව . ඒ සඳහා ඔහුගේ මුළු කාලය වැය කළ බවත් පේනවා.’ ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY