යහපාලන නාම පුවරුවට මුවා වී වැරදි කිරීමට දේශපාලනඥයින්ට හෝ රාජ්‍ය නිළධාරින්ට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

සියලූදෙනා තම හෘද සාක්ෂියට අනුව කටයුතු නොකළහොත් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු බිඳ වැටෙනු ඇති බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා යහපාලන සහ සංහිඳියා සංකල්පයන් ජයග්‍රහණය කරවා රටත්, ජනතාවත් ජයග්‍රහණය කරවීමට සියලූදෙනා කැපවිය යුතු බව ද පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග” මැයෙන් ඊයේ (22) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ සම්මන්ත්‍රණය අමතමිනි.

රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන බලපෑම් පිලිබඳ සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිලිබඳ කටයුතු කිරීමට අපක්ෂපාතී සහ මධ්‍යස්ථ ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

දේශපාලනඥයින් වැරදි සිදු කරනවානම් ඔවුන්ට රාජ්‍ය නිලධාරින්ට ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කළ නොහැකි බවද පැවසූ ජනාධිපතිතුමා විනය, ශිෂ්ඨත්වය පදනම් වූ යහපාලන සංකල්පය ආරක්ෂා කරමින් යහපත් සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම පිලිබඳ පළමු ආදර්ශය ලබාදිය යුත්තේ දේශපාලනඥයින් බව ද කියා සිටියේය.

අද තිබෙන ආර්ථීක තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා කළයුත්තේ එකිනෙකාට චෝදනා කරමින් ඇඟිල්ල දිගු කර ගැනීම නොව තමන් භාරගත් වැඩ කොටස නිසි ලෙස ඉටු කරමින් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කිරීම බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

“ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග, මැයෙන් මෙහි ප්‍රධාන දේශනය මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ වර්තමාන ශ්‍රී ලංකා විදේශ ආයෝජන ඉදිරි වසරවලදී පස් ගුණයක් දක්වා වැඩිකර ගැනීම රජයේ ඉලක්කය බවයි.

වත්මන් රජයේ යහපත් විදේශ ප්‍රතිපත්තින් ඉවහල් කර ගනිමින් ජාත්‍යන්තරය සමග නව වෙළඳ ගිවිසුම්වලට එළැඹ ආයෝජන අවස්ථා වර්ධනය කර ගනිමින් අපනයනය වැඩිදියුණු කර ලංකාව ආර්ථීක දුෂ්කරතාවලින් මුදා ගැනීමට කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“පවතින නෛතික ව්‍යුහය තුළ සංවර්ධන අභියෝග ජය ගැනීමෙහිලා රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය” මැයෙන් විශේෂ දේශනයක් නීතිපති ජයන්ත ජයසූරිය මහතා විසින් සිදු කළේය.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියහ.

01-12-1024x798 04-7-1024x389 07-3-1024x330

LEAVE A REPLY