බැඳුම්කර කොමිසම හමුවේ අද පෙනී සිටි කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන්ගෙන් ප‍්‍රශ්න කිරීම විනාඩි 20කට සීමා වී තිබෙනවා. කබීර් හෂීම් අමාත්‍යවරයාගෙන් විනාඩි 10ක් ද මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගෙන් ද විනාඩි 10කට ආසන්න කාලයක් ද ප‍්‍රශ්න කෙරුණු බවයි වාර්තා වන්නේ. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු ප‍්‍රශ්නයක් යොමුනොකිරීම විශේෂත්වයක්.

ඔවුන් අද කැඳවා තිබුණේ 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර එනම් 26 වැනිදා මහබැංකුවේ පැවැති රැස්වීමක් පිළිබඳ ප‍්‍රශ්න කිරීමටයි. කෙසේවෙතත් බැඳුම්කර කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදෙමින් මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ බැඳුම්කර නිකුතුව පිළිබඳ එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවයි.

එම රැස්වීමෙන් අනතුරුව හිටපු මහබැංකු අධිපතිවරයා දුරකතනයෙන් ඇමතුවේදැයි කොමිසම මෙහිදී විමසා තිබෙනවා. එහිදී මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එවැනි ඇමතුමක් පිළිබඳ තමන්ට මතකයක් නොමැති බවයි.

මේ අතර වර්තාවක් සැපයීමට අවශ්‍ය තරම් තොරතුරු තමන් සතුව දැන් පවතින බව බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් අද ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ තමාත් අමාත්‍ය මලික් සමරවික්‍රමත් ජනාධිපතිවරයා හමුවී මෙම ප්‍රකාශයන් ලබාදීම කල්දමන්නැයි පැවසූබව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය සහයෝගය ඕනෑම මොහොතක ලබා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

සමාගමට අති විශාල ලාභ ලැබුණේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා..!

තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු හරහා අදහාගත නොහැකි තරම් අති විශාල ලාභ ලැබුණේ තමාත් රවි කරුණානායක ඇතුළු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා බව රාජ්‍ය බැංකු ප්‍රධානීන් හෙළි කළ තොරතුරුවලින්ම තහවුරු වනවා නොවේ දැයි ඊයේ (09දා) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් විමසා සිටියේය.

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීමට හේතු වූ කරුණු පිළිබඳ පිළිතුරු දෙන්නට විය. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් එලෙස විමසා සිටියේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අසීමිත ලෙස ලාභ ලැබුණේ තමාගේ උදවු උපකාර මත නොවන බවට ඉදිරිපත්වූ වාචකයට ප්‍රතිචාර දක්වමිනි. එතෙකින් නොනැවතුණු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලේඛන එකින් එක ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් පාලන සමය තුළ පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට වාසි හිමිවී ඇති ආකාරය පෙන්වා දුන් අතර ඒ බැව් පිළිගැනීමට මිස ඒ කිසිවකුත් ප්‍රතික්‍ෂේප කිරීමට අර්ජුන මහේන්ද්‍රන්ට නොහැකි විය.

සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර ගනුදෙනු අංශයට අර්ජුන් ඇලෝසියස්ගේ අතවැසියකු වූ සමන් කුමාර නමැත්තා කිසිදු සුදුසුකමක් පවා නොමැතිව පත්කොට ගත්තේත්, එතැන් සිට එකී අරමුදලට පාඩුපිට පාඩු ගෙන දෙමින් බැඳුම්කර ගනුදෙනු සිදු කළේත් තමාගේ අනුදැනුම පමණක් නොව තමාගේ සම්පූර්ණ මෙහෙයවීම යටතේ නොවේ යැයි තහවුරු කරන්නට එකදු සාක්‍ෂියක් හෝ හැකි නම් ඉදිරිපත් කරන්නැයිද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා මහේන්ද්‍රන් හට අභියෝගයක්ද ඉදිරිපත් කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහීඩා බාරි මහත්මිය විසින් ඊට නිදසුන් ගණනාවක්ම මහ බැංකු ලේඛන මඟින්ම ඉදිරිපත් කරමින් කරුණු විමසද්දී හිටපු මහ බැංකු අධිපතිවරයාට ඒවා නොපිළිගෙන සිටීමට නොහැකි විය.

එවන් එක් නිදසුනක් වූයේ, රුපියල් බිලියන 28ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවකදී (2015 ඔක්තෝබර් මස 02 දින) රුපියල් 100ක කොටස රුපියල් 110ක් බැගින් වන සේ මිලදී ගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එදිනම එම බැඳුම්කරයම රුපියල් 115ක් බැගින් වන සේ මිලකට සේවක අර්ථසාධක අරමුදලට (ඡ්ර්ථීජ්) අලෙවි කිරීමේ ගනුදෙනුවය. එවන්ම වූ ගනුදෙනු රාශියක් පිළිබඳ සහීඩා බාරී මහත්මිය අදාළ මහ බැංකු ලේඛන ඉදිරිපත් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසුවාය.

මේ අතර වත්මන් රජයේ ප්‍රභල අමාත්‍යවරුන් වන අමාත්‍ය කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රමට බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ අමාත්‍යවරුන් හෙට දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය යුතු ය.