රජවරුන් හා වාසය දැලි පිහියෙන් කිරිකන්නා හා සමානයැයි කීවොත් ඔබ එකඟද? එහෙත් සමාජයේ පොදු මතයට අනුවනම් රජවරුන් හා විසුමට මෙන්ම රජගෙයි විසුමටද පෙර පින් තිබිය යුතුය. ජ්‍යොතිෂ්‍යට අනුවද රාජ රාජ මහාමාත්‍ය ඇසුර ලැබීම පෙර කුසලයක ප්‍රතිවිපාකයකි. රජගෙදර සියල්ල රාජ තේජස් සහිත වේ නම් රජගෙදර හදා ඇත්තෙත් රජ නැකත්වලටම අනුව නේන්නම්. වාස්තු දෝෂ අරවා මේවා කොහෙද ඔය රජගේවල්වල. නෑ… නෑ…  ඒක වෙන්නෙ කොහොමද? රජගෙදර හැදුවෙ සුද්දගෙ කාලෙ නේන්නම්… සුද්දො දන්න වාස්තු විද්‍යාව, අලංකාරේ මිසක්….
රජගෙදර ගැන මොහොතක් සිතන මොහොතක ඔබට එසේ සිතෙනාවට සැකයක් නැත. රාජ්‍ය නායකයෙක් නවාතැන් ගන්න නිවෙසක තිබිය යුතු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මොනවද? රජගෙදර පවතින වාස්තු විද්‍යාත්මක දෝෂ මොනවාද? මෙකී කරුණුද සැලකිල්ලට ගනිමින් අපි ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සමඟ රජගෙදර ගැන කතා කළෙමු.
රජ ගෙදර නිර්මාණය වූයේ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යයන්ගේ සිතැඟි අනුව වූ හෙයින් එය ඉදිකිරීමේදී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව පුළුල් අවබෝධාත්මක ඥානයකින් කටයුතු කර ඇති බවක් නොපෙනේ. සැකෙවින්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉදි කළ රජගෙදර මුල්තැනක් ලැබී ඇත්තේ වාස්තු විද්‍යාවට නොව හුදෙක් අලංකාරත්වයට හා පෞඪත්වයටය.
නිවසක වේවා මන්දිරයක වේවා එහි මධ්‍යම කොටස එනම් හරි මැද හඳුන්වන්නේ බ්‍රහ්ම පාදය සලකුණු වී ඇති ස්ථානය ලෙසයි. නිවසක බ්‍රහ්ම පාදය ඇති තැන හැමවිටම ඉතා පිරිසිදුවට තිබිය යුතුය. බ්‍රහ්ම පාදය ඇති තැන වැසිකිළියක්, මුළුතැන්ගෙයක්, නිදන කාමරයක් ඉදිකිරීම වාස්තු විද්‍යා ශාස්ත්‍රයට අනුව කිසි ලෙසකින්වත් යෝග්‍ය නොවේ. බ්‍රහ්ම පාදය පිහිටි ස්ථානය වඩා සුදුසු වන්නේ ආගමික වත්පිළිවෙත් සිදු කිරීමේ කාර්ය සඳහා බව වාස්තු විද්‍යා ශාස්ත්‍රය සඳහන් කරයි.
රජගෙදර අට කොණේ ආරක්ෂක යන්ත්‍ර 8 ක් නිදන් කළා
නිවෙසක්, රජගෙයක්, මන්දිරයක් වේවා අදාළ ඉදිකිරීම සඳහා තෝරාගත් භූමිය පළමු සැලසුමේදී  සතර ආකාර වර්ගීකරණයකට ලක් කරනු  ලැබේ. ඒ ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය හා බ්‍රහ්ම පාදය වශයෙනි. අදාළ ඉදිකිරීමේදී බ්‍රහ්ම පාදය ගැන දෙයාකාර අවධානයක් යොමු කළ යුතුය. එනම් සමස්ත ඉඩමේ බ්‍රහ්ම පාදය සළකුණු වී ඇති ස්ථානය සහ නිවසේ සැලසුම අනුව නිවසේ බ්‍රහ්ම පාදය සලකුණු වී ඇති ස්ථානය වශයෙනි. ඉඩමේ බ්‍රහ්ම පාදය සලකුණු වන තැනද වැසිකිළියක් වැනි පෙර කී ඉදිකිරීමකට කිසිසේත්ම සුදුසු නැත.
නිවෙසක වේවා රජගෙදරක වේවා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සැලකීමේදී බ්‍රහ්ම පාදය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඉඩමේ සහ නිවසේ බ්‍රහ්ම පාදය සටහන්ව ඇති ස්ථානය අපිරිසිදු වී ඇත්නම් නිවෙසේ අන් කවර ශුභාත්මක වත්පිළිවෙත් කළත් ඒවායින් පලක් නොවන තරමට වාස්තු විද්‍යා ශාස්ත්‍රයේදී බ්‍රහ්ම පාදයට හිමි තැන ප්‍රබල හෙයිනි.
බ්‍රහ්ම පාදය සටහන්ව ඇති තැන වැසිකිළියක්, මුළුතැන්ගෙයක් වැනි පිහිටීමක් ඇති විට එහි වසන්නන්ට දුක් කම්කටොලුවලට මුහුණදීමට සිදුවෙන බව වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ දැක්වේ. පවුලේ අයගේ දියුණුවට බාධා ඇතිවේ. අසනීපවීම්, අවුල් වියවුල් නිතර නිතර ඇතිවේ.
කොළඹ රජගෙදර උඩ කාමර 5ක් සහ යට කාමර 5ක් වනසේ ඉදිකර ඇත. රජගෙදර බ්‍රහ්ම පාදය ඇති ස්ථානයේ අර්බුදකාරී පිහිටීමක් නැත. රජගෙදර පදිංචියට ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 2006 ජූලි 21 වැනිදා රජගෙදර කිරි උතුරුවන ලද්දේද බ්‍රහ්ම පාදය පිහිටි ස්ථානයේය. බ්‍රහ්ම පාදය මෙන්ම තවත් මූලිකවම සැලකිල්ලට ගත යුතු වාස්තු විද්‍යාත්මක මූලධර්ම බොහොමයක් පවතී.

කෝටියක් දෝෂ භංගවෙන යෝගයකින් වාස්තු දෝෂ මඟ හැරෙනවා
ප්‍රධාන උළුවස්ස කෙසේ තිබිය යුතුද යන්න ඉන් එකකි. හිරු උදාව සිදුවෙන නැගෙනහිර දිශාව බලා ප්‍රධාන උළුවස්ස  තැබීම බොහෝ දෙනාගේ සම්ප්‍රදායයි. නිවසෙන් පිටවීමේදී නැගෙනහිර දිශාව බලා පිටත් වූවත් නැවත නිවෙසට පැමිණිය යුතු වන්නේ බස්නාහිර දිශාව බලාගෙනය. වාස්තු විද්‍යාවේ උප්පත්තිය සිදු වූ ඉන්දීය ජ්‍යොතිෂවේදීන් දරන මතය අනුව ප්‍රධාන උළු වස්ස තැබිය යුත්තේ මරු නැති ඊශාන දිශාවට මුහුණලාය. එවිට නැවත පැමිණෙන්නේ නිරිත දිශාව බලාගෙනය. නැගෙනහිර දිශාවට ප්‍රධාන උළුවස්ස තැබූ විට නැවත බස්නාහිර දිශාවට මුහුණලා පැමිණෙන්නට සිදුවීමේදී බස්නාහිර යනු ශුභ දිශාවක් නොවන හෙයින් එය අවුල් වියවුල් ඇතිවීම කෙරේ බලපායි.
රජගෙදර සතර දිශාවට ද්වාරයන් ඉදිකර ඇති අතර එහි ප්‍රධාන උළුවස්ස ඇත්තේද නැගෙනහිර දිශාවට මුහුණලාය. නැගෙනහිර දිශාව බලා පිටව යාම ශුභ බවත් එහෙත් නැවත බස්නාහිර දිශාව බලාගෙන ගෙට ඇතුළුවීම සුබදායක නැති බවත් අපි පෙර සඳහන් කළෙමු. එගෙත් රජගෙදර සතර දිශාවට මුහුණලා ද්වාර ඇති හෙයින් නිවෙසට පැමිණීම පිටවූ නැගෙනහිර දිශාවේ ද්වාරයෙන් හැර වෙනත් ද්වාරයක් ඔස්සේ කළ හැකි නිසා ඉහත කී දෝෂය එහි වසන්නන්ට ගැටලුවක් වන්නේ නැත. එහෙත් ඒ වාස්තු විද්‍යාත්මක දෝෂයටද වාස්තු විද්‍යාෙවන්ම පිලියම් යොදනු ලැබීය.
රජගෙදර ප්‍රධාන උළුවස්ස ඇති ද්වාරය අබිමුව එංගලන්තයේ මහ රුජනගේ මිත්තණියක වන මේරී රුජනගේ විශාල පිළිරුවක් ඉදිකර තිබුණේය. ඔටුණු පැළඳ සිංහාසනයේ සිටින කිරිගරැඩෙන් නිර්මිත ඒ රුව වාස්තු විද්‍යාත්මක ශාස්ත්‍රයට අනුව එතන ඉදිකර තිබීම යෝග්‍ය නොවුණි. එහෙයින් රජගෙදර වාස්තු දෝෂවලට පිළියම් යෙදීමේදී ඒ රුවද එතනින් ඉවත් කෙරැණ අතර එතැන බුදුරැවක් තැන්පත් කිරීම සිදුවූයේ වාස්තු විද්‍යා මූලධර්මවලට අනුකූලවමය.
මන්දිරයක හෝ රජගෙදරක සම්පූර්ණ හතරැස් අඩිගණනේ ඓක්‍යය එකතු කර බැලූවිට ඔත්තේ සංඛ්‍යාවක් ලැබේනම් (1, 3, 5, 7 වැනි) එතන රජෙකුගේ වාසයට වඩාත් ඔබින්නේය. මේ ආකාරයෙන් අයවැය විමසන වාස්තු විද්‍යාත්මක ක්‍රම රැසක් පවතී.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 සෙනසුරාදා පස්වරු 1.21 ටය. එහෙත් ජනාධිපතිවරයා රජගෙදර පදිංචියට ගියේ 2006 ජූලි 21 සිකුරාදාය. ඉන් පෙර රජගෙදරට ගෙවැදීමට රාජකීය ජ්‍යොතිෂ්‍යවේදියා විසින් නැකත් කිහිපයක්ම පිළියෙල කළත් කවර හෝ හේතුවක් කියමින් රජගෙදරට ගෙවැදීම මහින්ද ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබීය.

මේ නැකත් පිළියෙල කරන ලද්දේ රජගෙදර පැවති වාස්තු විද්‍යාත්මක දෝෂවලට සම්පූර්ණ වශයෙන්ම ප්‍රතිකර්ම යෙදීමෙන් අනතුරුවය. වර්ග අඩි හාරසීය ගණනක වපසරියකින් යුත් රජගෙදර ලෑලි සොල්දරයේ ගා තිබූ පොලිෂ් ආලේප පවා මේ ප්‍රතිසංස්කරණවලදී ඉවත් කරනු ලැබීය. සියලු වස් දොස් දුරලන්නට කළ යුතු සියලු ආරක්ෂාවන් කළ පසු තවදුරටත් රජගෙදරට ගෙවැදීමේ කටයුත්ත පමා කිරීම හේතු විරහිත බැව් කල්පනා කළ සුමනදාස අබේගුණවර්ධන මහතා විශේෂ නැකතක් පිළියෙල කරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවුණේය.
රජගෙදර කිරිබත් අනුභවය හමාර වූ මොහොතේම හද කම්පා කළ ආරංචියක්
සර්… මේ දවස හොඳම දවස. ලෝකයේ ප්‍රථම අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරේ දිවුරුම් දුන් දවස… ඒ නිසා ජූලි 21 නැකත නම් ඔබතුමා මඟහරින්න එපා… තම ජ්‍යොතිෂවේදියා දෙස බලා පුළුල් සිනාවක් පෑ මහින්ද ජනාධිපතිවරයා ඒ සුබ නැකතට රජගෙදරට ගෙවදින්නට හදවතින්ම තම එකඟත්වය පළ කළේය.
එදා 2006 ජූලි 21 සිකුරාදා රජගෙදර කිරි උතුරුවා කිරි බත් අනුභවය හමාර වූවා පමණි. රජගෙදරට ලැබුණේ ඇසූ පමණින් හද කම්පා කළ ආරංචියකි.
කොටි ත්‍රස්තවාදීන් අක්කර තිස්දාහකට වතුර සපයන මාවිල් ආරු සොරොවුව වහලා… ජනාධිපතිවරයාගේ මුහුණේද එක්වරම අඳුරු සේයාවක් දිස්විණි. මේ ආරංචිය වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් බව ඉවෙන් මෙන් වටහාගත් රාජකීය දෛවඥයා මොහොතකටවත් නොසැලී ජනාධිපතිවරයා දෙසට හැරුණේය.
සර් සර්…. මොහොතකටවත් හිතේ අවුලක් ඇති කරගන්න එපා. අපි අනිවාර් යෙන්ම යුද්ධය දිනනවා… යුද්ධය දිනන්න කොටින්ගෙ මේ ක්‍රියාවම අපිට හොඳ පදනමක් වෙනවා… හේ විශ්වාසයෙන් යුතුව පැවසුවේය.

බලගතුම නැකතක් යෙදුණ දවසක… ඔබතුමා රජගෙදරට ගෙවදිච්ච දවසේ ඔබතුමාට මේ ලැබුණේ යුද්ධය දිනන්නට හැකි බවට ඉඟියක්… රාජකීය දෛවඥයා ස්ථීරසාර හඬින් තවදුරටත් කීය.
රජගෙදර පැවති වාස්තු දෝෂ හේතුවෙන් ජනාධිපතිවරු කීප දෙ‍නෙක්ම රජගෙදර පදිංචියට යෑම ප්‍රතික්ෂේප කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 ජූලි 06 වැනිදා සිටම රජගෙදර නැවතී සිටියේය. ඒ ජනාධිපති මහින්ද රජගෙදර පදිංචියට යාමට පෙර පැවති වාස්තු දෝෂවලට ප්‍රතිකර්ම කොට විශේෂ ආරක්ෂා යන්ත්‍ර රජගෙයි තැන්පත් කළ හෙයිනි. ගෙයි ප්‍රධාන උළුවස්ස නැගෙනහිර දිශාවට මුහුණලා ඉදිකර තිබීම ඒ අතර සැලකිල්ලට ගත් ප්‍රධාන වාස්තු විද්‍යාත්මක දෝෂයක් විය. ඒ ගැන සැලකිලිමත් වෙමින් ජූලි 06 ගෙට ගෙවැදීමට පෙර දින විශේෂ ආරක්ෂක යන්ත්‍ර කිහිපයක්ම භූමිගත කෙරිණි.
ලෝකයේ බොහෝ මන්දිරවලට සුදු පැහැය තෝරාගැනීම සම්ප්‍රදායක් මෙන් පවතින නිසා රජගෙදර සඳහාද ඒ පැහැය තෝරා ගෙන තිබිණි. නිවෙසක වේවා මන්දිරයක වේවා පවතින ඇතැම් ප්‍රබල වාස්තු විද්‍යා දෝෂ ගෘහ මූලිකයට මරණය ගෙන දීමට තරම් දරුණු හේතුවක් විය හැක. ඒ වාස්තු දෝෂ අතුරින් වඩාත් ප්‍රබල දෝෂයක් වන්නේ මරැ සුලම දෝෂයයි. නිවසේ අටකොණින්ම නූල් ඇද හරියටම මැද සලකුණු වෙන තැන පිළිබඳව වාස්තු විද්‍යාවේදී බොහෝ සැලකිලිමත් විය යුතුය. එම ස්ථානයද බ්‍රහ්ම පාදය මෙන්ම වැදගත්ය. අට කොණින් නූල් ඇද මැද සලකුණු වෙන තැන මුළුතැන්ගෙයකට වැසිකිළියකට නාන කාමරයකට සුදුසු නැත. ඒ තැන සුදුසුවන්නේ ආගමික වත්පිළිවෙත් කිරීමටය. පහනක් දැල්වීම වැනි කාර්යකටය. එසේ නොමැති වූ විට එය මාරක උදා කරන වාස්තු දෝෂයක් බවට පත්විය හැක. එමෙන්ම ප්‍රධාන උළුවස්ස මැදට පරාලයක් වැදීමද නිවසේ ගෘහ මූලිකයාට බලවත් විපත් ගෙනදෙන වාස්තු දෝෂයක් සේ සැලකේ. ගිනි කතුර ලෙස හැඳින්වෙන්නේ මේ වාස්තු විද්‍යා දෝෂයයි.
වහලය සැදීමේදී එක පරාලයෙන් පරාලයට, රීප්පෙන් රීප්පයට, යටලීයෙන් යටලීයට සැලකිලිමත් විය යුත්තේ ඒ හා සබැඳි වාස්තු විද්‍යාත්මක කරුණුද බොහොමයක් පවත්නා හෙයිනි. දෝෂ භංග වන ආකාරයට වහල සෑදීම මුඛ්‍ය වගකීමකි. රජගෙදර වහල තුළ ප්‍රබල වාස්තු විද්‍යාත්මක දෝෂ දකින්නට නොතිබුණු අතර පැවති දෝෂ මඟහරවනු ලැබිණි.
රජගෙදර පදිංචියට එන රාජ්‍ය නායකයාගේ කේන්ද්‍රය සහ රජගෙදර වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අතර ගැළපීමක් තිබීමද අත්‍යවශ්‍ය කරුණකි. එසේ රජගෙදර වාස්තු විද්‍යාත්මක ලක්ෂණ හා කේන්දරයේ නොගැළපීම් ඇති විටෙක ආරක්ෂක යන්ත්‍ර භූමි ගත නොකර දෝෂ මඟ නොහරවා එහි පදිංචි වුවහොත් අසුබ ප්‍රතිඵල ඇතිවීම වළකනු අසීරැය. එන එන රාජ්‍ය නායකයාගේ කේන්දරයට අනුව රජගෙදර වාස්තු විද්‍යාත්මකව වෙනස්කම්වලට බඳුන් කිරීම අසීරැ හෙයින් කළ යුතු ප්‍රතිකර්මය වන්නේ විශේෂ බහිරව පූජා පැවැත්වීම හා ආරක්ෂාව ලැබී සෞභාග්‍ය ලැබීමට ආරක්ෂක යන්ත්‍ර භූමි ගත කිරීමය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පදිංචියට එද්දී ඒ කේන්දරය අනුව රජගෙදර අට කොණ අරක්ෂක යන්ත්‍ර අටක් නිදන් කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් මූලිකම උපදෙස වූයේ රජගෙදර ගොඩනැගිල්ලට හානි නොකර කරන ආරක්ෂාවක් කරන ලෙසය. දක්ෂ වාස්තු විද්‍යාඥයකුට ගොඩනැගිල්ලට හානි නොකර පිළියම් කළ හැකිය.
එක් රාජ්‍ය නායකයෙකුගේ කේන්දරයට අනුව රජගෙදර කරන ආරක්ෂාවන් ඊළඟට පැමිණෙන රාජ්‍ය නායකයින්ට අහිතකර ලෙස බලපාන්නේද යන්නත් ගැටලුවකි. එයද සැබැවින්ම සිදුවිය හැක්කකි. රජකම ලැබීමටත් වඩා රජකමේ රැඳී සිටීමට ඕනෑම පාලකයකු දක්වන දැඩි ඇල්ම නිසා බලයට පත්වන හැම නායකයෙක්ම ගුප්ත විද්‍යාව කෙරේ දැඩි විශ්වාසයක් දක්වා දෙස් විදෙස් ශාස්ත්‍රඥයන්ගේ සේවාව ලබාගනී. රජගෙදර පදිංචියට එන යම් රාජ්‍ය පාලකයකුගේ කේන්දරයක කෝටියක් දෝෂ භංග වන යෝගයක් පවතීනම් ඒ පාලකයාට එම බලයෙන් බොහෝ දෝෂ මඟහැරී යයි. එමෙන්ම ඒරාෂ්ඨක අපල ඇති පාලකයෙකු දෝෂ නිරාකරණයෙන් තොරව රජගෙදර පදිංචියට පැමිණියහොත් විය හැකි අසුබ දෙගුණ තෙගුණ විය හැක.
මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා ආරක්ෂාව පතා රජගෙදර භූගත බංකර ඉදි කළේද දෛවඥයා දුන් උපදෙස් අනුවය. ගමේ ගරාජයකටවත් සුදුසු නැතැයි උපකල්පනය කළ හැකි තත්ත්වයේ තිබූ පෙර බංකරයට අඟලේ බට අල්ලාගෙන පළමුව බැස බැලුවේද රාජකීය දෛවඥයාය. රජගෙදරකට නොගැලපුණු එම බංකර ඉවත්කර අලුතින් ඉදිකළේද නැකත් අනුවය. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී හිටපු නාවික හමුදාපතිවරයෙකුගේ මාර්ගයෙන් රජගෙදරට පැමිණි චන්ද්‍රවංශ නම් සේවකයා අත කිලෝ දහයක් පමණ බර යතුරු කැරැල්ල තිබූ අතර ඔහු හැමවිටම රාජකීය දෛවඥයාට උදවුවට සිටියේය.
රජගෙදරට නොගියත් ගියත් රජෙකුට වුවද කර්මයක් පඩිසන් දීමට ඇත්නම් එය වැළැක්වීම අසීරුය. ඊට මෙරටින් පමණක් නොව එතෙරින්ද උදාහරණ සපයාගත හැක. වාස්තු විද්‍යාත්මක පිළියම් හෝ යාග හෝම වලින් කර්මයට හා කර්ම ඵලයට ප්‍රතිකාර කළ නොහැක. සියල්ල අවසානයේ එයද සඳහන් කරනු වටී.

ගාම්භීර රජගෙදර
ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුටද බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු 30 දෙනෙකුටද ශ්‍රී ලාංකික අග්‍රාණ්ඩුකාරවරු දෙදෙනෙකුටද ජනාධිපතිවරැ හත් දෙනෙකුටද සෙවණ සැලසූ රජගෙදර හෙවත් කොළඹ කොටුවේ ජනපති මන්දිරය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් උසුලන වැදගත්කමට සියවස් දෙකක් මුළුල්ලේ එය මෙරට රාජ්‍ය නායකයන්ගේ නිල නිවෙස වශයෙන් යොදාගැනීමද ප්‍රබල හේතුසාධකයක් විය. එහි පදිංචියට ගිය ප්‍රථම ශ්‍රී ලාංකික දේශපාලනඥයා වන්නේ අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකය. 
බ්‍රිතාන්‍යයන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ සිද්ධාන්ත පදනම්ව ගොඩනැංවූ රජගෙදරට මුලින්ම බුදු පිළිම මහන්සේ නමක් වැඩම වූ දේශපාලනඥයා සහ එහි පදිංචියට ගිය ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා සහ ජනාධිපතිවරයා වන්නේ විලියම් ගොපල්ලවය. ඒ 1962 සිට 1978 දක්වා කාල පරිච්ඡේදයේදීය. 1978 දී බලයට පත් ශ්‍රීලනිප ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපතිවරු රජගෙදර පදිංචියට ගියේ නැත. ඊට හේතුව වූයේ එහි වාස්තු විද්‍යාත්මක දෝෂ පවතින බවට ඒ ජනාධිපතිවරුන් තුළ වූ ප්‍රබල විශ්වාසයයි. පදිංචියට නොගියත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රජගෙදර අලුත්වැඩියා කළේය. ජේ.ආර්. මෙන්ම 1989 සිට 1993 දක්වා ජනාධිපති ධුරය හෙබවූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාද රජගෙදර භාවිත කළේ නිල කටයුතු සඳහා පමණි.
ආර්.එල්. බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තයට අනුව පෘතුගීසින්ගෙන් කොළොම්පුරය පැහැරගෙන වසර ගණනාවක් ගතවීමෙන් පසු හා ප්‍රැන්සිස්කන් පූජකවරැන් ඉවත්ව යාමෙන් පසු අද ක්වීන්ස් හවුස් පිහිටි තැන නිවෙසක් ගොඩ නැගිණි. එය අන්තිම ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ඇන්ගල් බීක් පදිංචි වූ නිවසයි. 1799 සැප්තැම්බර් මස ඇන්ගල් බීක් මිය ගියේය. ඉන්පසු ඔහුගේ දේපළ උරුම වූයේ ඔහුගේ පුතා වන ක්‍රිස්තියාන්ටය. තම ලේලිය හා ඇගේ සැමියා බේරාගැනීමට ඉදිරිපත් වූ ඔහු තම පවුල සතු නිවස තම ඥාති ලේලියගේ ක්‍රියාකලාපය නිසා රජයට අහිමි වූ මුදලට වන්දි වශයෙන් රජය සතු කිරීමට ඉදිරිපත් විය.
ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත්ගේ කාලයේදී මේ මන්දිරය ආණ්ඩුවට අයත් දේපලක් බවට පත්වූයේ එලෙසය. ඒ 1804 ජනවාරි 17 වැනිදාය. ඒ යුගය වෙද්දී බ්‍රිතාන්‍ය අණසකට මෙලක සම්පූර්ණයෙන් යටත්ව නොතිබුණි. නෝත්ගෙන් පසු මෙරට ආණ්ඩුකාර ධුරයට හිමිකම් කී තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මෙම නිවෙස තම පදිංචිය සඳහා වඩාත් සුදුසු බව කල්පනා කළෙන් එය ඔහුගේ පදිංචිය සඳහා තෝරා ගත්තේය. කොළඹ වරායට යාබදව පිහිටි මේ සුන්දර මන්දිරයේ විසුම මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට වඩාත් ප්‍රියදායී අත්දැකීමක් විය. රජගෙදර හෙවත් Kings House ලෙස එය හැඳින්වූයේ ආණ්ඩුකාර මෙට්ලන්ඩ් එම මන්දිරය තම වාසභූමිය බවට පත්කර ගැනීමෙන් ඉනික්බිතිවය. අද ඒ මුල් මන්දිරයේ නෂ්ඨාවශේෂ නෙතට හසු නොවන්නේ පසුකාලීනව මන්දිරය විසල් කිරීමේදී එය සම්පූර්ණයෙන්ම ඉවත්කළ නිසා විය යුතු යැයි විශ්වාස කෙරේ.
රජගෙදර ඇති භූමියේ එදා ඕලන්ද ආණ්ඩුකාර නිවෙස ඉදිකරන්නට පෙරාතුව පැවතියේ ශාන්ත ප්‍රැන්සිස් පල්ලියයි. ලඳු කැලෑවකින් වටවූ කනත්තක් ඊට යාබදව පිහිටියේය. පෘතුගීසි පාලන සමයේදී දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කර ඇත්තේද එම කනත්තෙහිය. රජගෙදර ගොඩනගා ඇත්තේ මිනී ඇටකටු ගොඩක් මත යැයි මේ ඉතිහාස සංසිද්ධිය පදනම්ව ඇතැම්හු අදහස් දැක්වුවත් අනන්ත සංසාර සංචාරයක යෙදෙන මිනිස් වග භවයෙන් භවය අත්හැර යන වාර ගණන සිතද්දී මේ මිහිතලය මත මිනිස් ඇටකටුවක් මිහිදන්ව නැති තැනක් සොයාගත හැකිදැයි සිතෙන තරම්ය.
වර්ෂ 1837-1901 වික්ටෝරියා රැජනගේ පාලන යුගයේදී මේ මන්දිරය හැඳින්වූයේ රැජන මන්දිරය හෙවත් Queens House යන නමිනි. ඉන්පසු එය නැවත රජගෙදර බවට පත්වුවත් තවත් ස්වල්ප කාලයක් ඇවෑමෙන් එළිසබෙත් රැජනට බ්‍රිතාන්‍ය කිරීටය ලැබුණු ඉනික්බිති එය නැවතත් රැජන මන්දිරය බවට පත්විය.

1972 මැයි 22 එය ජනාධිපති මන්දිරය ලෙස හැඳින්වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස අබිසෙස් ලද පසුවය. එහෙත් සාමාන්‍ය ජනයාට එදත් අදත් ඒ මහ මැඳුර රජගෙදරමය.