බැසිල් රාජපක්ෂ මැදිහත් වී 2012 වසරේ දී සකස් කළේ විකෘති ඡන්ද ක්‍රමයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

බහු පක්ෂ දේශපාලනයට ඇති ඉඩකඩ අහුරා ද්විපක්ෂ දේශපාලනයට එම ඡන්ද ක්‍රමයෙන් ඉඩ සළසා දුන් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය ප්‍රධාන පක්ෂ දෙකකට කේන්ද්‍රගත කිරීමට බැසිල් රාජපක්ෂ උත්සහ ගත් බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

2012 දී සකස් කළ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කොට සාධාරණ මැතිවරණයක දිනා ගැනීමට තමන්ට හැකි වීම ලැබු විශාල ජයග්‍රහණයක් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

අනුර කුමාර දිසානායක මන්ත්‍රවරයා මෙම අදහස් පල කළේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම සීමා නිර්ණය නැවත සකස් කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති අසෝක පීරිස් ද එම ඡන්ද ක‍්‍රමයට අනුව මැතිවරණය පැවත්වුවහොත් නැවතත් ශ්‍රී ලංකාවේ ලේ වැගිරීමක් ඇති වනු ඇති බව පවසා තිබෙන බව මන්ත්‍රිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

තමන්ගේ මත ප්‍රකාශ කිරිමටයි ඒකාබද්ධ විපක්ෂය මහා නාහිමියන් බැහැදකින්නේ

ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ට එරෙහිව විවේචනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් බැහැදැකිමට යනු ලබන්නේ උන්වහස්සේගෙන් උපදෙස් ලබාගැනීමට නොවන බවයි .

ඔවුන්ගේ අදහස් මහා නාහිමියන් ලවා ප්‍රකාශ කර ගැනීමේ අරමුණින් උන්වහස්සේ බැහැදකින බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දී අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.