රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී තියෙන වගකීම පැහැර නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙතෙක් දළ කෙටුම්පතක් හෝ සකසා නොමැති බවය.
නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව යන දෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර නායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ රටේ ඒකීය භාවය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන කරුණුවල කිසිදු වෙනසක් සිදුනොකරන බවය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිඹුලාගල නව කලාප අධ්‍යාපන කාර්යාලය, මැදගම ද්විතීක පාසලේ නව තාක්ෂණ පීඨය ඇතුළු ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීමට ද එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.