මාතෘ භූමියේ ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක රණවිරු නිවාස වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ පැවති ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා මෙම රැස්වීමට එක්වූ අතර අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලූ වැඩසටහන් සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ප්‍රගතිය ද විමසා බැලීය.

බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිකෙරෙමින් පවතින යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිලිබඳව ද අවධානය යොමු කෙරිණි.

වෙරළ සංරක්ෂණය වෙනුවෙන් නාවික හමුදාවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිලිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර පරිසර අමාත්‍යාංශය, වෙරළාරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම සංචාරක කටයුතු අමාත්‍යාංශය සහ නාවික හමුදාව එක්ව ඒ සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජාතික ශිෂ්‍ය භට කණ්ඩායම් ශක්තිමත් කිරීම පිලිබඳවද අවධානය යොමු වූ අතර යහපත් සහ විනයගරුක අනාගත පරපුරක් රට තුළ ගොඩනැගීම සඳහා සෑම මහා විද්‍යාලයකම සහ මධ්‍ය මහා විද්‍යාලයකම ශිෂ්‍ය භට බලකායන් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

2-1-2-1140x450 3-1-1-1024x785