බලයේ සිටියදී කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් සහ රාජ්‍ය වත්කම් ගසා කමින් බලය අනිසි ලෙස භාවිතා කර බරපතළ වංචා, දූෂණ සහ අපරාධ සිදු කළ අය නැවත තමන් බලයට පැමිණෙන බව ජනතාවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සිදු කරමින් කරන එම උත්සාහයන් කිසිසේත් සඵල කරගත නොහැකි අතර අදට මෙන්ම හෙටට රටට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට වත්මන් රජය විධිමත් අයුරින් කි‍්‍රයාවට නංවා තිබෙන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සැමට සෙවණ ,විරුසුමිතුරු, රණවිරු නිවාස ඔප්පු ප‍්‍රදානයේ සමාරම්භක උත්සවය අමතමිනි.

කි‍්‍රයාන්විතයේදී දිවි පිදු හා ආබාධයට ලක් වූ ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්ගේ පවුල්වල නිවාස ගැටලූවට විසදුමක් ලබාදීමේ අරමුණින් නිවාස ඒකක 3,650 ක් ඉදිකිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ මෙහෙවීමෙන් කි‍්‍රයාත්මක විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 192 ක් රණවිරු අයිතියට පවරා දෙමින් ඔප්පු ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන කුමන්ත‍්‍රණ නොව රටේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් විරෝධාර රණවිරුවන් කළ පරිත්‍යාගය තුළින් රටත්, ජනතාවත් ලැබූ ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු කර ගනිමින් ඉදිරියට යාම බවයි.

රට තුළ ස්ථිර සාමයක් ගොඩනගමින් ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැංවීමට වත්මන් රජය කැපවී කටයුතු කරද්දී අනාගත බලය පිළිබද සිහින දකින ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයින් රට තුළ අසමගිය වැපිරීමට උත්සාහ දරන බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලූ ශී‍්‍ර ලාංකික ජනතාව ඒකරාශි විය යුතු බව ද කියා සිටියේය.

විරෝධාර රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණය වෙත යාමට තිබූ තත්ත්වය වෙනස් කර ලෝකයේ කිසිදු රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට ඔවුන්ට අත තැබීමට නොහැකිවන අයුරින් ජාත්‍යන්තරයේ සියලූදෙනාගේ සහයෝගය ලබාගැනීමට වත්මන් රජය කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය කරමින් සහ ඔවුන් අතුරුදහන් කරමින් මාධ්‍ය ආයතනවලට ගිනි තැබූ යුගය අවසන් කර සියලූ මාධ්‍යවේදින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙන්ම මාධ්‍ය ආයතනවලට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කළ වත්මන් රජයම විවේචනය කරමින් රට තුළ ගැටලූ ඇති බවට ජනතාවට පෙන්වීමට උත්සාහ කරන ඇතැම් මාධ්‍ය ආයතනවල කි‍්‍රයාකලාපය පිළිබද තමා කණගාටුවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

රණවිරුවන් රටට ලබාදුන් නිදහස මෙන්ම රණවිරුවන්ද ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කරන අතරම රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ යටතේ ඉතා කෙටි කාලයක් තුළ රණවිරු නිවාස ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසදීමට රජයට හැකිවනු ඇති බවද ජනාධිපතිතුමා සදහන් කළේය.
ජනාධිපතිතුමා අතින් රණවිරුවන් දස දෙනෙකු වෙත නිවාස ඔප්පු ප‍්‍රදානය කෙරිණි.

 

රට වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් රණවිරු පවුල් 3,650කට තමන්ගේ ම කියා නිවසක හිමිකමක් නොමැති බවත් වත්මන් ආරක්ෂක අමාත්‍යධුරය හොබන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත එම රණවිරු පවුල් සඳහා නිවාස ලබාදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ආණමඩුව “ගම් උදා” භූමියේ ඉදිකරන විරෝධාර “රණවිරු නීරෝ ගම්මානය” සඳහා මුල්ගල් තැබීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි.

 ඉදිරියේ දී නිවාස අමාත්‍යංශය ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි සෙන්පතියන් නමින් උදා ගම්මාන ඉදිකිරීමට කටයුතු කරන බවත් 423වැනි උදා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත් මෙම වසර අවසන්වීමට පෙර ගම්මාන සංඛ්‍යාව 500දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. වත්මන් රජයේ ආයු කාලය තවත් මාස 40කින් අවසන් වන බවත් එම කාලය අවසන්වීමට පෙර උදා ගම්මාන සංඛ්‍යාව 2500ක් දක්වා නංවන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.