මහාපරිමාණ විනිමය වංචාවක් සිදුක බව කියන ශ්‍රී ලංකා-අමෙරිකානු ප්‍රකෝටි‍පතියෙකු වූ දැනට අමෙරිකා එක්සත් ජනපදයේ සිරදඬුවම් ලබන රාජ් රාජරත්නම් තමාගේ මිතුරෙකු බව මහබැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

අද(05)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

රාජරත්නම් මහතා තමාගේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සරසවි සඟයෙකු බවත්,ඔහු තමාට වඩා වසර 2ක් කණිෂ්ඨ බවත්,ඔහුගේ ගැලියන්ස් ගෘප් සමාගමේ මුදල් ආයෝජනය කරන ලෙස හා ඔහුට සහය වන ලෙස දැන්වූ බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

තමා ඒ අනුව මාස 10ක පමණ කාලයක් සූක්ෂම ආර්ථිකයට අදාළව පර්යේෂණ පත්‍රිකා ලියා දුන් බවත්,හෙතෙම අත්අඩංගුවට ගැනීමට ප්‍රථම තමන් එම සමාගමේ පර්යේෂණ කටයුතු සිදුකළ බවත් ඔහු සිහිපත් කළේය.

2011 වසරේදී අභ්‍යන්තර වෙළඳාමේදී මහජනයාට අනාවරණය නොකළ තොරතුරු භාවිතා කොට ලාභ ලැබීම සම්බන්ධයෙන් නඩු විමසා අමෙරිකානු අධිකරණයක් විසින් ‍රාජරත්නම් මහතාට සිරදඬුවම් නියම කර ඇති අතර මේ දක්වාම ඔහු දඬුවම් ලබමින් සිටියි.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කුමාරස්වාමි මහතා කියා සිටියේ රාජරත්නම් යනු ලංකාවේද ස්වේච්ඡා සේවයට මුදල් වියදම් කළ පුද්ගලයෙකු බවයි.

සර්ව ආර්ථික මූලධර්ම ක්‍රියාවට නංවා රටේ ආර්ථික ස්ථායිතාව ස්ථාපිත කිරීමට තමන් කටයුතු කරන බවත්,තිරසාර ආර්ථිකයක් ගොඩනැඟීම අභියෝගයක් බව තමන් පිළිගන්නා බවත් මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

රටේ මේවන විට දැඩි ලෙස බදු පනවා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද බලපෑම අනුවදැයි මාධ්‍යවේදීන් විසින් මෙහිදී විමසන ලදුව මහබැංකු අධිපතිවරයා කියා සිටියේ එයින් බලපෑම් නොකළ නමුත් යම් මගපෙන්වීම් සිදුකරන ලද බවයි.

එමෙන්ම වත්මන්හි ශ්‍රී ලංකා මහබැංකුව මුදල් අමාත්‍යංශය යටතේ නොතිබීම සම්බන්ධයෙන් මතුකරන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් කුමාරස්වාමි මහතා කියා සිටියේ එය මුදල් අමාත්‍යංශය යටතේම පැවතිය යුතුයයි සඳහනක් නොමැති බවයි.

එය ආයතනික ව්‍යුහයක් පමණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY