තම ඊපීඑෆ් ඊටීඑෆ් මුදල ගසා කෑමට රාජපක්ෂලා විසින් කරන ලද උත්සාහයට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින් පැවැත්වූ උද්ඝෝෂණයට රාජපක්ෂලා විසින් වෙඩි තැබීමෙන් 2011 මැයි 30 දා මිය ගිය රොෂේන් චානක තරුණයාගේ මරණය සම්බන්ධයෙන්   සොයා බැලීමට පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්ථාව අද (17) එළි දැක්විණි.

මෙම වාර්තාව රාජපක්ෂ යුගයේ දී මහින්ද රාජපක්ෂ වෙත ලබා දී තිබූ නමුත් ඔහු විසින් එය යට ගසා තිබිණ.

රොෂේන් චානක මරා දමා වසර 6 ට පසුව ඔහුගේ මවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පසුගිය 13 වැනිදා මෙම වාර්තාවේ පිටපතක්  ලබා දී ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවය.

2011 මැයි 30 වැනිදා රාජපක්ෂලාගේ නියෝග අනුව සිදුකළ පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ. අදටත් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්වූවෝ රාශියකි.

ජනතාවගෙන් ආ දැඩි විරෝධය නිසාම  සිද්ධිය පිළිබඳව සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට මහින්ද රාජපක්ෂටම සිදුවිය.

එළිදැක්වූ වාර්තාව අනුව පොලිසිය හා ආයෝජන මණ්ඩලය  කම්කරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නීති විරෝධී බව කොමිසමේ නිගමනය වී ඇත.

පොලිස් වෙඩි තැබීමට ආණ්ඩුව වගකිවයුතු බවට එල්ල වූ චෝදනාව සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් නොවූ බව සඳහන් කරන පරීක්ෂණ වාර්ථාව, “අඩුම තරමින් වෙඩි තැබීමෙන් අනතුරුව හෝ පොලිසිය ඔවුන්ගේ අශිෂ්ඨ හැසිරීම නැවතිය යුතුව තිබුණු” බව සඳහන් කරයි

එබැවින් “ ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ සහ පොලිස් සේවයේ ප්‍රතිරූපය රැකගැනීම පිණිස එහි සිටි සියලුම ඉහල පෙළේ පොලිස් නිලධාරීන්ට එරෙහිව තාතිරම නොබලා පියවර ගත යුතු බව” ද කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂලා කෙළේ එවක සිටි පොලිස්පති මහින්ද බාලසූරියට ඉල්ලා අස්වන්නැයි කියා ඔහුට තානාපති තනතුරක් ලබා දීම ය.

මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් පැවැති අතර බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා හෙළි කෙළේ රොෂේන් චානක ට වෙඩි වැදුනු පසු කළමනාකරුවෙකුගේ රථයකින් ඔහුව රෝහලට ගෙන යෑමට හදද්දී එම රථයට ද පහර දී කුඩු කරන ලද බව වාර්තාවේ සඳහන්ව ඇති බවයි. රොෂේන් චානක මිය යන්නේ හනික රෝහලකට ඇතුලත් කිරීමට නොහැකි වීමෙන් ලේ වහනය වීමෙන් බවද බිටෝ ප්‍රනාන්දු මහතා කීය. මාධ්‍ය හමුව පිලිබඳ ජාතික රූපවාහිනිය කළ වීඩියෝවක් පහත දැක්වේ