සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා ඇතුළු බුද්ධි අංශ නිලධාරින් 63 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට ගල්කිස්ස උසාවිය අද රහස් පොලීසියට අවසර ලබාදී තිබේ.

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනූව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ‍රහස් පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර කන්දේගෙදර ප්‍රියවංශ නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇතුළු 63 දෙනෙකු ආයතන 32ක පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තා ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා වීරසිංහ මහත්මිය අවසර දුන් බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර මෙම ඝාතන සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද උසාවියට ගෙනඑනු ලැබුවද ඔහු තවමත් අසනීප තත්ත්වයෙන් සිටි නිසා නඩුව ලබන 25 දක්වා කල්තැබීමටත් ඒ දක්වා සැකකාර හමුදා බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ් කිරීමටත් නියෝග කර තිබේ.

එසේම පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ උසාවියේ පැවැත්වෙන නඩුවකට සැකකරු ඉදිරිපත් කිරීමට ද උසාවිය අද රහස් පොලීසියට අවසර ලබාදෙන ලදී.

මේ අතර ගල්කිස්සේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 15 තෙක් කල්තැබීමට ද උසාවිය නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY