“එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා අද පොදු ජනතාවගේ සේවකයා විදියට මම කියනවා ලාංකිකයිනි නැගිටිව්  කියලා” යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැති එජාප 70 වැනි සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කියා සිටියේය.

2015 ජනාධිපතිවරණය ජයග්‍රහණයේ වැඩිම කොටස්කරුවන් සිටින පක්ෂයේ සංවත්සරයට ආරාධනා ලැබීම සතුටක් බවද ජනාධිපතිවරයා පැවසුවේය.

එජාපයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක මහතා 1946 දී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි එකම ජාතිකයක් ලෙස සිටිය යුතු බවට වසර 70ට කලින් කියූ දේ අදත් අපිට කියන්න සිදුව ඇති බවද, ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

ඩී.එස් සේනානායක, එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක, චෙල්වනායගම් වැනි නායකයින් අදින් අවුරුදු ගාණකට කලින් සිදුකළ එම ප්‍රකාශ අදටත් අපට කියන්න සිදුව ඇත්තේ මේ රටේ සියලූ ජාතීන් සංහිඳියාව වෙනුවෙන් කටයුතු නොකළ නිසා බවත්, එහි ප්‍රතිඵලය 30 වසරක යුද්ධය බවත්, ඒ මහතා පැවසුවේය.

කෙසේ වුවද එජාප 70 වැනි සම්මේලනයේදී අද සම්මත කර ගත් යෝජනා මගින් කිසිදු විදේශීය බලවේගයකට දේශයේ ස්වාධිපත්‍ය  හෑල්ලු කිරීමට ඉඩනොදෙන බව සඳහන් කර ඇති බවත්, එසේම බහුතර සිංහල ජනතාවගේ සාඩම්බර උරුමය හා සංස්කෘතිය තව තවත් ඔප් නංවාලීමට ද, දෙමළ හා අනෙකුත් ජනවර්ගයන්ගේ සහයෙන් නිරන්තර ක්‍රියාකරලීමට ද, වසර 2500ට උරුමකම් කියන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සෙසු ආගම් ද ඇදහීමේ හා විශ්වාසය කිරීමේ අයිතිය තහවුරුකර තිබීම පැසසිය යුතු බවත් ජනාධිපතිවරයා කීවේය.

අප ප්‍රශ්න දෙස බැලිය යුත්තේ බුද්ධියෙන් හා පරිණතභාවයෙන් බවත්, ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීම අවශ්‍ය බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී  62ලක්ෂ 50,000ක් ඡන්දය දුන්නේ අප විසින් රටට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශ‍නයේ අඩංගු කරුණු ඉටු කිරීමට බවත්, ඒවා  දිවිහිමියෙන් ඉටුකිරීමට තමා බැඳී සිටින බවත්, ජනාධිපතිවරයා එහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් සහිතව 19 වැනි සංශෝධනය සම්මත කළ බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවලට මුහුණදුන් බවත්, එසේ වුවද අවුරුදු 2ක් මැතිවරණයකට නොයන්නැයි තමන් ඇතුළු සන්ධානයේ බහුතරයක් කියද්දී හිටපු නායකයා ඡන්දයකට ගියේ මෙරට ආර්ථික අර්බුදයට හා මානව හිමිකම් කොමිසමට මුහුණදීමට තිබූ නොහැකියාව නිසා බවත්, ඔහු පෙන්වාදුන්නේය.

කෙසේ හෝ දැන් එළඹ ඇත්තේ රට ගොඩනැඟීමට කාලය බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා ශ්‍රීලනිපයටත් එක්සත් ජාතික පක්ෂයටත් එකට හිටගෙන මේ රට ගොඩනඟන්න පුළුවන්  බවද, බලයක් නොමැතිව කරන විවේචනවල සරල බැවින් ප්‍රශ්න දිහා ගැඹුරින් බැලිය යුතු බවද ඔහු පැවසුවේය.

“දූෂණය, වංචාව, හොරකම පවුල්වාදය, නැතිකර ජාතික සංහිඳියාව ගොඩනැඟීමට අපි කැපවී ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපී පෙනී ඉන්නවා. සමහරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන, අපි කරන දේවල් ගැන සම්පූර්ණ අසත්‍ය ජනතාව අතර පතුරුවනවා. සියළු ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා ජාතික අපරාධ කරන්න එපා. ඒ ඛේදවාචකය කරන්න එපා කියලා. මේ උතුම් ශ්‍රී ලංකාව ලොව විශිෂ්ට රාජ්‍යක් ලෙස පත්කරන්න උදව් කරන්න.  හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හැදීමට මුළු සමාජ සංස්ථාව තුළම සාමය සමගිය ස්ථාපිත කරන්න කැපවෙමු” යැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY