වත්මන් ආණ්ඩුව විසින් සහජීවනය හා සංහිඳියාව ගොඩනැගීම පසෙක තබා ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ මගින් සිදු වන්නේ සහජීවනය වෙනුවට ඊළම ගොඩනැගීමක් බවද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ යුගය තුළ ඒ මහතා නිරන්තරයෙන් කටයුතු කළේ සංහිඳියාව සහ සහජීවනය ගොඩ නැගීමට බවද ඒ මහතා පවසයි.

දකුණට වඩා උතුරේ සංවර්ධනයක් ඇති කිරීමට ඒ මහතා කටයුතු කළ බවද රොෂාන් රණසිංහ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම වත්මන් රජයේ විදේශ අමාත්‍යවරයා විදේශ සංචාරයන් මගින් වාර්තාවක් තැබීමට කටයුතු කරනවාද යන්න පැන නගින ගැටළුවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

අද වන විට රට තුළ වෘත්තීය සමිති ගණනාවක් විවිධ අරමුණු මූලික කර ගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාර රැසක් සිදු කරන බවද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කර සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ඇති බවට ප්‍රකාශයන් සිදු කළද නීතීඥයින්ට යම් යම් බලපෑම් ඇති බව නීතීඥ සංගමය විසින්ම ප්‍රකාශ කරන බවයි.

මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා යැයි  ආණ්ඩුව විසින් පොරොන්දු වුවද එය තවමත් ඉටු නොවූ බවයි.

එමෙන්ම ගුරු මාරු හා විදුහල්පතිවරුන්ගේ පත්වීම්වලටද දේශපාලන බලපෑම් මත සිදු වන බවත් ඒ මහතා පවසයි.