අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අද(27) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්නේ සැකකරු පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකුට තර්ජනය කර රුපියල් කෝටි 60කට ආසන්න මුදලක් චෙක්පත් මගින් ලබා ගෙන ඇති බවයි.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කරුණු සළකා බැලූ අධිකරණය මීළඟ නඩු වාරයේදී එම අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.