වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිනොවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද දිනයේද වැට් බදු සංශෝධනයට එරෙහිව නඩුවක් ගොනු කෙරුණු බැවින් ඒ පිළිබඳ යම් තීරණයක් ගැනීමට තව සති දෙක තුනක කාලයක් ගතවනු ඇති බව විශ්වාසයෙන් යුතුව කිව හැකි බව අමාත්‍යවරයා කියා සිටියේ අද(14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මීට පෙරාතුව රජයේ ප්‍රකාශකයන් විසින් පවසා තිබුණේ ජූලි 20 වන දින මෙම පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අබේවර්ධන මහතා කියා සිටියේ තරමක ප්‍රමාදවීමෙන් වඩා හොඳ තීරණයක් ගැනීමට රජයට හැකිවනු ඇති බවයි.

වැට් බදු සංශෝධනය සෑම භාණ්ඩ හා සේවාවකටම අදාළ වන බවට දුර්මත ප්‍රචාරය වන බවත්, එය එසේ නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට 10,000ක පමණ පිරිසකගෙන් අයදුම්පත් ලැබී ඇති බවත්,සම්මුතිවාදී ආණ්ඩුවක සිටියද ශ්‍රීලනිපය ස්වාධීනව එම මැතිවරණයට මුහුණදෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය