නව වැට් බදු සංශෝධනයෙන් ජනතාවට සෙතක් නැති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එම පක්ෂය විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පා.ම බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ නව සංශෝධන අනූව දිනක පිරිවැටුම රුපියල් 136,586ක් වන ව්‍යපාරික ස්ථානවලින්ද වැට් අය කෙරෙන බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වැට් අය කළේ රුපියල් කෝටි ගණන් වත්කම් ඉපයූ ආයතනවලින් බවද සාමාන්‍ය ජනතාවට ඉන් බරක් නොවැටුණු බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුව ඇමතු පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය සිටින තුරු මෙරට ස්වෛරීත්වයට හානි කිරීමට කිසිදු බලවේගයකට ඉඩනොදෙන බවයි.

එෆ්.සී.අයි.ඩීයේ නිත්‍යානූකූලභාවය ගැන ඇල්ලේ ගුණවංශ හිමියන් කාලෝ ෆොන්සේකා විසින් ගොනු කළ පෙත්සම්වලට අදාළ නඩු විභාගය පැත්තකට දමා ඇතැයිද හෙතෙම චෝදනා කළේය.

යහපාලන රජයේ සංහිඳියාව මැලේසියානු මහකොමසාරිස්වරයාට පහරදීමෙන් පෙනී ගිය බව එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේය.

ඔහු කියා සිටියේ රනිල් – සිරිසේන පාලනය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව පවා මෙම ප්‍රහාරය ගැන කිසිදු විරෝධයක් පළ නොකළ බවයි.

මාධ්‍ය හමුවට එක්වූ පා.ම වාසුදේව නානායක්කාර මහතා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඖෂධ මාෆියාවට යටවී ඔහු පඹගාලක පැටලී සිටින බවයි.

ඖෂධ මිල පාලනය කිරීමට ඔහුට නොහැකි වී ඇති බවත්, එසේ කිරීමට නොහැකි වී ඇත්තේ මන්දැයි ඇමතිවරයා හෙළි කළ යුතු බවත්, ඒ මහතා අවධාරණය කළේය.

මාධ්‍ය හමුවට එක්වූ පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය කියා සිටියේ රටේ ණය බර වැඩි වී ඇත්තේ අපගේ ආණ්ඩුව කාලයේ ගත් ණය නිසා නොව වත්මන් ආණ්ඩුව ගත් ණය නිසා බවයි.

LEAVE A REPLY