ජනතාවගේ ආර්ථිකය ශක්‌තිමත් කොට හෙට උපදින දරුවන්ට හොඳ රටක්‌ නිර්මාණය කළයුතු සෑම කාර්යයක්‌ම නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව ලංකාපුරදී ප්‍රකාශ කළේය.

විවේචන, ඇනුම් බැණුම් කොතෙක්‌ එල්ල වුවත් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම අදහස්‌ පළ කළේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් ඉකුත් 31 වැනිදාපොලොන්නරුව ලංකාපුර වීරපුරදී පැවැති උත්සවයක්‌ අමතමිනි.

වීරපුර මංසන්ධියේ සිට ලංකාපුර කරත්තකඩ හන්දිය දක්‌වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණු අතර මෙම අවස්‌ථාවට මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ද දිස්‌ත්‍රික්‌කයේ මැති ඇමැතිවරුන් ද එක්‌වූහ.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“මා ඉතාමත්ම සතුටු වෙනවා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 314 වීරපුර මේ ඔබේ අපේ ගම්මානයට පැමිණීමත් අද පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කය වශයෙන් ආරම්භ කරන පුළුල් යෝධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භක කටයුත්තට ඔබ සමඟ එක්‌වීමට ලැබීම පිළිබඳවත්. මේ දිස්‌ත්‍රික්‌කය විදියට ගත් විට මේ ව්‍යාපෘතිය යටතේ පමණක්‌ මිලියන 3500 නැත්නම් කෝටි 350 ක්‌. මේ දිස්‌ත්‍රික්‌කයට මේ වසරේ මාර්ග සංවර්ධනය සඳහා විශේෂයෙන්ම මාර්ග නවීකරණය සඳහා අපට ලැබිලා තිබෙනවා. දිස්‌ත්‍රික්‌කයේ පාරවල්වලට මේ ව්‍යාපෘතිය හැර මිලියන 3205 ක්‌. ඒ ඇරෙන්න මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කිරීමට යෝජිත ඇස්‌තමේන්තු සකස්‌ කරලා අනුමත වෙලා තිබෙනවා. තවත් මිලියන 16627 ක්‌. ඒ වගේම මේ වර්ෂයට ඉදිකිරීමට යෝජිත ප්‍රාදේශීය සභාවලට අයත් මාර්ග, ප්‍රාදේශීය සභා හතේම වෙන්වෙලා තිබෙනවා. මිලියන 3344 ක්‌. මේ ඔක්‌කොම එකතු කරපුවහම මේ සියලු ව්‍යාපෘතිවලින් මේ දිස්‌ත්‍රික්‌කයේ මිලියන 23178 ක්‌ වෙනවා. මිලියන 23178 ක්‌ කියන්නේ රුපියල් කෝටි 2300 කට වැඩියි. ලංකාවේ මාර්ග ඉදිකිරීම පිළිබඳව පසුගිය කාලේ බොහොම කතා කළා. ඒ කාලේ මේ ඉස්‌සරහින් තියෙන පොලොන්නරුව රෝහල හන්දියේ සිට ඓතිහාසික සෝමාවතිය පුදබිම දක්‌වා මේ මාර්ගයට අපි රුපියල් කෝටි 235 ක්‌ මිලියන 2350 ක්‌ වියදම් කළා. සෝමාවතී චෛත්‍යය රාජයාණන්ට යන මාර්ගය පිළිබඳව අවුරුදු ගාණක්‌ මම එදා අපේ ආණ්‌ඩුව තුළ කතා කළා. ඒ ඇරෙන්න මේ දිස්‌ත්‍රික්‌කයේ කාපට්‌ කරලා ලස්‌සනට තිබුණු තවත් පාරක්‌ තමයි මින්නේරිය හන්දියේ සිට හිඟුරක්‌ගොඩ හරහා මැදිරිගිරිය දක්‌වා මාර්ගය. ඒ ඇරෙන්න මේ දිස්‌ත්‍රික්‌කයේ අභ්‍යන්තර මාර්ග ලංකාවේ වෙනත් දිස්‌ත්‍රික්‌කවල වගේ, මහා සංවර්ධනයක්‌ පිළිබඳව කතා කරන දිස්‌ත්‍රික්‌කවල වගේ අපේ දිස්‌ත්‍රික්‌කයේ හැදුණේ නෑ.

තමුන්නාන්සේලාට මතක ඇති 2013 අවුරුද්දේ අපි බරපතළ නියඟයකට මුහුණදුන්නා. ඒ නියඟෙට මුහුණදෙන්න වෙලාවේ විශාල වශයෙන් ජලය නොමැතිව අපේ ගොවිතැන් කරගන්න බැරි තත්ත්වයක්‌ ඇති වුණා. මම එවකට හිටපු අපේ ජනාධිපතිතුමාට ආරාධනා කළා. ඒ නියඟය නිසා විනාශයට පත්වෙච්ච ගොවි බිම් බලන්න ගොව් ජනතාව හමුවෙන්න එන්න කියලා. එතුමත් එක්‌ක මම ඇවිල්ලා ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවෙලා ඊට පස්‌සේ ජයන්තිපුර ව්‍යාපාරයේ ගොවි ජනතාව හමුවුණා. හිඟුරක්‌ගොඩ ගුවන්තොටුපළේ ඉඳලා අනෙක්‌ ස්‌ථාන දෙකටම අපි ගියේ හෙලිකොප්ටර්වලින්. අපි ආවා ඔතන පල්ලෙහා පුලස්‌තිගම කිරිමැටියට. දමන වැවට ආවා. ඒ එන ගමන් හිටපු ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මේ එක පාරකවත් යන්න බෑ නේද කියලා. මම කිව්වා ඒක තමා මටත් තියෙන ප්‍රශ්නය කියලා. මට හිඟුරක්‌ගොඩ ජයන්තිපුරටයි ඇලහැරටයි ඔබතුමා එක්‌කගෙන ගියා වගේ මට කිරිමැටිදමනටත් හෙලිකොප්ටරෙන් යන්න පුළුවන්කම තිබුණත් මේ පාරේ එක්‌කරගෙන යන්නේ පාරවල්වල තත්ත්වය පෙන්වන්නයි. අපිට මේ පාරවල් ටික ඉක්‌මනට හදාගන්න සල්ල ඕනයි කියලා කිව්වා.

නමුත් කනගාටුවෙන් වුණත් කියන්න ඕන ඒ කියපු එක වැඩක්‌වත් කෙරුණේ නෑ. දැන් සමහරු ආණ්‌ඩුව විවේචනය කරනවා. දොස්‌ කියනවා. අපි පිළිබඳව නොයෙකුත් විවේචන එනවා. තමුන්නාන්සේලා දන්නවා අපි ආණ්‌ඩුව ගන්නකොට රුපියල් කෝටි නවලක්‍ෂයක්‌ ණයයි. රුපියල් කෝටි නවලක්‍ෂයක්‌ කියන එක තමුන්නාන්සේලා හිතලා බලන්න ලියන්නට කොච්චර අමාරුද කියලා. මේවා බොහෝ අය හිතන්නේ නෑ. කතා කරන්නේ නෑ. ඔය මහා සංවර්ධනය ගැන කතා කරන කොට ඒ සංවර්ධනය අස්‌සේ මේ මහා ණය බර. මේ රටේ ජනතාව එයින් නිදහස්‌ කරගන්නයි ඕන. ඒ සඳහා රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. අපි පිටරට යවන්න අවශ්‍ය දේවල් වැඩිපුර නිෂ්පාදනය කරන්න ඕන. අපේ රටේ පසුගිය අවුරුදු 10-15 ක්‌ ගත්තහම අපි පිළිගන්න ඕන මේ රටේ දේශීය කර්මාන්ත ඔක්‌කොම වැටිලා. ආනයන අපනයන විශාල ඈත්වීමක්‌ තිබෙනවා. වෙළෙඳ පරතරය. අපේ විදේශ වත්කම් පහත වැටිලා. ඒ තත්ත්වය තුළ අපි පොහොසත් රටක්‌ වෙන්න ශක්‌තිමත් රටක්‌ වෙන්න මේ රටේ ප්‍රධාන කෘෂි ආර්ථිකය වගේම අපේ දේශීය කර්මාන්ත ශක්‌තිමත් කරන්න ඕන. ඒ නිසයි අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් අපි ප්‍රධාන වශයෙන් විදේශීය ආයෝජකයන්ට එන්න කියන්නේ.

 

    • කරුණාරත්න ගමගේ