කෘෂිකාර්මික රටක් විදියට අපේ රටේ ජාතික ආර්ථීකයේ පදනම වන්නේ කාෂි කර්මාන්තය යි. මේ මිණිපේ ප්‍රදේශය ජාතික කෘෂිකර්මයේ විශේෂ වැදගත්කමක් උසුලන ප්‍රදේශයක් ලෙස හඳුන්වා දිය හැකියි. වසර අසූවකට ආසන්න කාලයක් තිස්සේ පැවත එන ගොවි ජනපද ව්‍යාපාරයක් වන මිණිපේ ප්‍රදේශයට ඇවිත්, මෙම ව්‍යාපාරය යටතේ ජීවත් වන ජනතාවගේ අනාගතය සඳහා වැදගත් වන මිණිපේ වම් ඇළ සංවර්ධනය සඳහා අපේ රජය රුපියල් කෝටි 280 කට වැඩි මුදලක් වැය කරමින්, විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරන අවස්ථාවක ඔබ හමුවීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා.

කථා කළ සියලූ ඇමතිවරුන් මිනිපේ ව්‍යාපාරය සහ මෙහිි ඓතිහාසික පදනම සහ තොරතුරු පිළිබඳව කතා කළා. ධාතුසේන මහරජතුමා, පළවෙනි අග්ගබෝධි රජතුමා ඇතුළු අපේ රාජාවලියේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ නිර්මාණයන් විදියට මේ ගොවි ජනපද ව්‍යාපාර වල මුල් අවස්ථාව අපට සිහිපත් කරන්න පුළුවන්.

ඒවගේම තමයි 1940 දශකයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාමාණ්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා මේ රටේ මෑත භාගයේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව නිදහසෙන් පසු නිදහසට පෙර ඉංග්‍රීසි පාලනය තුළ තිහේ දශකය සහ හතළිහ දශකය පිළිබඳව සමාලෝචනයක් කළොත් අධ්‍යයනයක් කළොත් ඩී.එස් සේනානායක මැතිතුමා මේ රටේ ගෙවී ගිය දශක කිහිපයේ ගොවි ජනපද ව්‍යාපාර වල ප්‍රධාන නිර්මාතෘවරයා විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මම දන්නවා ඉන්පසුව මිනිපේ ව්‍යාපාරය ශක්තිමත් කරන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අත දුන්නා. අනුග්‍රහය දැක්වුවා.

රජරට ප්‍රදේශය නියෝජනය කළ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා මේ ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය සහයෝගය ඒ යුගය තුළ ලබා දුන්නා. ඒ වගේම මහවැලි සංවර්ධන මහ සැලැස්ම පිළිබඳව කතා කරන විට ගාමිණී දිසානායක මැතිතුමා තම වගකීම් ඒ යුගය තුළ ඉටු කළා. ඒ සෑම දේශපාලන නායකත්වයක් වගේම ඈත ඉතිහාසයේ සිට මේ රටේ ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරය පිළිබඳව තිඛෙන කතාන්දරයේ වාරි තාක්ෂණය සහ වාරි ශිල්පීය ක්‍රම පිළිබඳව අපි ඉතිහාසයේ මතක සටහන් අවදි කළහොත් එදා රජවරුන්ගේ යුගයේ ජීවත් වූ එදා කටයුතු කළ තාක්ෂණයේ විශිෂ්ටයින් ඉංජිනේරුවරුන්ගේ සිට අද මේ දක්වා ඉංජිනේරුවරුන්, කාර්මික ශිල්පීන් ඊට සහයෝගය දැක් වූ අවසන් දහඩිය හෙලු කම්කරුවාගේ සිට ඒ සියලූ කැපකිරීම් කළ සෑම කෙනෙක්ම මෙවැනි අවස්ථාවක සිහිපත් කිරීම වඩාත් උචිතයි කියා මා විශ්වාස කරනවා.

ගොවි ජනපද ව්‍යාපාරයක ඔබට තිබෙන අත්දැකීම ඔබට මෙන්ම මටත් හොඳින් තිබෙනවා. මගේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා ආරම්භ කළ මින්නේරි, පරාක්‍රම සමුද්‍ර ගොවි ජනපද ව්‍යාපාර වල ගොවියෙක් විදියටයි. 1949 පමණ පොළොන්නරුවට පැමිණියේ දෙවෙනි ලෝක යුද්ධ සංග්‍රාමයේ විශ්‍රාමික යුධ භටයින්ට, නිලධාරීන්ට, එදා සේවා මුක්ත භටයින් විදියට ඩී. එස් සේනානායක මැතිතුමා ගොවි ජනපද ව්‍යාපාරය යටතේ ඉඩම් දුන්නා. ඒ නිසා මේ රටේ ගොවි ජනපද පිළිබඳව ගොවි ජනපද සංස්කෘතිය ගොවි ජනපද ශිෂ්ටාචාරය මේ රටේ ආර්ථීකයේ සහ සංස්කෘතියේ මහා පෙරළි කළ ව්‍යාපෘති කියලා අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙකුටම මේ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. මා දන්නා පරිදි ද.මු ජයරත්න අගමැතිතුමාගේ සිට මෙතන ඉන්න මැති ඇමතිවරු රාශියකට තිඛෙන්නේ ගොවි පසුබිමක් තිඛෙන පවුල් පසුබිමක්. තමන්ගේ දෙමව්පියන් ගොවීන් විදියට.

ඒ නිසා අපිට ඔබට තිබෙන අත්දැකීම් සමග අපි සෑම කෙනෙක්ම දන්නවා ගොවි ජනපද වල ජීවත් වන ගොවියා පමණක් නොවෙයි අපි රටක් වශයෙන් ගත් විට අපේ රටේ ගොවියා දහඩිය, කඳුළු, දුක් සුසුම් සහ වරෙක ලේ සහ ජීවිතය පරිත්‍යාග කරමින් මේ රටේ ජනතාවට බත සැපයීමටත් ආර්ථීකයටත් මහත් දායකත්වයක් දී තිබෙනවා. අපේ රටේ ගොවීන් කියලා කියන්නේ සැප විඳින අය නෙවෙයි. අපේ රටේ ගොවියා කියලා කියන්නේ දුක් විඳින කෙනෙක්. ඒ දුක්බර ගොවි ජීවිතයේ තිබෙන ඔබේ අත්දැකීම් සියල්ල මා ලබා තිබෙනවා.

මිණිපේ ව්‍යාපාරයේ තිබෙන ජල හිඟය පිළිබඳව මෙතුමන්ලා කතා කළා. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය, මින්නේරි ව්‍යාපාරය, කවුඩුල්ල ව්‍යාපාරය, ගිරිතලේ ව්‍යාපාරය ඔබ මම ජීවත් වූ ප්‍රදේශ විදියට මේ ගොවි ජනපද ව්‍යාපාර වල ජල හිඟය නිසා ඇති වුණු කලකෝලාහලවලදි, ගැටුම්වලදි ගොවීන්ගේ ජීවිත අහිමි වුණු බව ඔබ අප කවුරුත් දන්නවා. ප්‍රධාන වශයෙන්ම ජල පාලනය තුළ එන ජල හිඟය කුඹුරේ ඇලේ සැමවිටම මහා සංග්‍රාම බවට පත් වුණූ අවස්ථාවන් අපි දන්නවා. ගොවීන්ගේ ජීවිත ජලය ඉල්ලා හළන කඳුළු කතාව අද ඊයේ කතාවක් නෙවෙයි දෙමව්පියනි දරුවනි. ඒ පිළිබඳව තිබෙන්නේ බොහෝ දුක් මුසු ඉතිහාසයක්. මීට සම්බන්ධව කතා කරන විට බොහෝ කරුණු කාරණා රාශියක් අපිට කියන්න පුළුවන්.

අපිට ඒ තිබෙන අත්දැකීම තුළ මූලික වශයෙන්ම අද මිනිපේ ව්‍යාපාරයේ වම් ඉවුර ප්‍රතිසංස්කරණය, පුනරුත්ථාපනය සඳහා මේ ආරම්භ කළ ව්‍යාපෘති ඔබ දන්නවා ඉදිරි අවුරුදු 04 ක කාලය තුළ අවසන් කිරීම අවශ්‍ය වෙනවා. මේ සඳහා අපේ මැති ඇමතිවරුන්ගේ තිබෙන දේශපාලන නායකත්වය වගේම ඉංජිනේරු මහත්වරු, කාර්මික නිලධාරීන් මේ සියල්ල ඉටු කරනවා වගේම ගොවි සංවිධානවල සියලූම ගොවි මහත්වරුන්ගේ වගකීමක් තිබෙනවා මේ වැය කරන මුදල් නියමිත පරිදි උසස් ප්‍රමිතියකින් යුක්තව ගුණාත්මකභාවයෙන් මේ ව්‍යාපෘති වලට මේ මුදල් වැය කරලා මේ කටයුතු කිරීම පිළිබඳව අධීක්ෂණය කරන්නට. එය ප්‍රධාන වශයෙන්ම ගොවි සංවිධානවලට තිබෙන වගකීමක් සහ යුතුකමක්. ඒ නිසා අපි පැහැදිලි ලෙසම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

අපි රටක් විදියට අපේ රටේ තිබෙන ප්‍රශ්න වලදි මේ රට ආර්ථීක වශයෙන් ගොඩනගන්න ශක්තිමත් ජාතික ආර්ථීකයක් ඇති කරන්න සැමවිටම ශක්තිමත් කළ යුත්තේ ගොවිජන ජීවිතය සහ ගොවි ආර්ථීකය කියන එකයි මා පැහැදිලිව පිළිගන්නා දෙය.

අපි බොහෝ විට ආයෝජන ගැන කතා කරනවා. ආයෝජන කෙරෙහි විශ්වාසය තියනවා. නමුත් කුමන ආයෝජන ආවත් ඒ ආයෝජන සියල්ලටම වඩා රටේ ආර්ථීකය පිළිබඳව ඓතිහාසික සාක්ෂිය තමයි කෘෂි ආර්ථීකය සමග මේ රට ගොඩනැගීම. ඒ නිසා ඔබේ දහඩිය සහ කදුළු සමග ඔබ ජීවිතය පරිත්‍යාග කරමින් මේ කරන මහා කැපවීමට ඔබේ රජය විදියට කළ හැකි, කළ යුතු සියලූ වගකීම් අපි නොපිරිහෙලා ඉටුකරනවා.

අපි මහවැලි සංවර්ධන ව්‍යාපාරය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ව්‍යාපාර, මහා වාරිමාර්ග, සුළු වාරිමාර්ග, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන සුළු වාරිමාර්ග මේ සියල්ල සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට වෙන් කරලා තිබෙනවා.

ඇතැම් ජලාශවල රොන් මඩ ඉවත් කිරීම පිළිබඳව ගොවි සංවිධානවල මහත්වරු දුන්න සංදේශයේ තිබෙනවා. ඇළ වේලි සහ අමුණු සකස් කිරීම පිළිබඳව සඳහන් කරලා තිබුණා.

ඒවගේම ඔබට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් විදියට මම දැක්කා ඉදිරිපත් කළ සංදේශයේ අංක එකට තිබෙන්නේ ඉඩම් ඔප්පු මෙතෙක් ලබා නොදීමයි කියන කාරණාව. ඉඩම් ඔප්පු මෙතෙක් ප්‍රමාද වුණා නම් එහි වගකීම පසුගිය සෑම රජයක්ම ගන්න ඕනෑ.

ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් අපේ ඇමතිතුමන්ලා සමග සාකච්ඡා කරලා ප්‍රධාන වශයෙන්ම ඉඩම් අමාත්‍යාංශයත්, ප්‍රාදේශීය ලේකම්තුමාලත් මේ පිළිබඳව දැනුවත් කරලා ඉඩම් ඔප්පු ලබාදීම සඳහා මිණිපේ ව්‍යාපාරයේ විශේෂ ව්‍යාපෘතියක් හැකි පමණ ඉක්මනින් ආරම්භ කරන බව ඉතා පැහැදිලිව කියන්නට ඕනෑ.

ඒ නිසා ලබන ජනවාරි මාසයේ මිණිපේ ව්‍යාපාරයේ ඉඩම් ඔප්පු ලබාදීමේ විශේෂ ඒකකයක් විදියට පිහිටවලා ගොවි සංවිධානවලත් සහයෝගය ලබාගෙන අමාත්‍යාංශවල සම්බන්ධීකරණය තුළ මේ කටයුතු කාර්යක්ෂම කිරීමට මම අපේක්ෂා කරනවා.

අපි පසුගිය වසරේ පත්වූ අලූත් රජයක්. ඒ නිසා මේ ආණ්ඩුව පරණ ආණ්ඩුවක් නෙවෙයි. මේක යල් පැනපු ආණ්ඩුවක් නෙවෙයි. අපි වැඩ පටන් ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. ගිය වසරේ මූලික සැලසුම් හදාගෙන මුදල් සොයාගෙන අපිට තිබූ බොහෝ බාධාවන් ඉවත් කළා. අපි මේ සියල්ල කරන්නේ අභියෝග සහ වගකීම් මැද්දේයි.

අපේ රට නිදහස නැති, ප්‍රජාතන්ත්‍රවාදය නැති, මානව අයිතිවාසිකම් නොසලක රටක් විදියටයි ජාත්‍යන්තරය තුළ පිළිගැනුනේ. මේ රට ආර්ථීක අතින් ශක්තිමත් කරන්න තිබූ ප්‍රධාන බාධාව වුණේ ලෝකයේ සංවර්ධිත රටවල් වලින් අවශ්‍ය සහයෝගය නොලැබීම සහ පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට දෙස නොබැලීමයි. මම ජනාධිපති ධූරයට පත්වූ පසු ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට මාස හතරකට පෙර අපේ රටට පැමිණියා. ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ලංකාවට පැමිණියේ වසර 36 කට පසුවයි.

මේ ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව වසර 20 කට පසුව විශාල වශයෙන් මුදල් ලබා දුන්නේ මේ වසර තුළදීයි. එසේම ජපන් ජාත්‍යන්තර බැංකුවේ ආධාරත් අපිට අඩුවෙලා තිබුණා. පසුගිය දිනවල මා ජපානයට ගොස් ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයින් හමුවුණා. දැන් ජපානයත් අපිට උදව් උපකාර කරන්න සූදානමින් ඉන්නවා. අපි කෙරෙහි ජාත්‍යන්තරය බැලු වැරදි ස්වරූපය දැන් නිවැරදි කරගෙන තිබෙනවා. මේ රට දියුණු කරන්න අවශ්‍ය ආර්ථීක ආධාර ගන්න, තාක්ෂණික ආධාර ගන්න, රටේ තරුණ පිරිසට දැනුම ලබා දෙන්න විවිධ රටවල ආධාර අපිට අවශ්‍ය වෙනවා. බටහිර ලෝකයෙන් අපි දැනුම ගන්නවා. ලෝකයේ දැනුම තිබෙන්නේ බටහිර රටවල. ආසියාකරය නියෝජනය කරන ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල් ද දැනුමෙන් සන්නද්ධ වූ රටවල්. අද ඒ සියලූ රටවල් අපිට සහයෝගය දෙනවා උදව් කරනවා.

අපි මේ ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් කරගෙන ඉදිරියට යනවා. සමහර අය නොයෙක් දේ අපිට කියනවා. සමහරු කියනවා හවසට රූපවාහිනියේ ආණ්ඩුවට විරුද්ධව කියන කතා බැලුවිට හෙට උදේට ආණ්ඩුව වැටෙයි කියලා හිතෙනවා කියලා. මේ රටට වැඩක් කරන්න උවමනාවක් නැති මිනිසුන් ඉන්නවා. එයාලට කොහෙන් හරි කන්න ලැඛෙනවා. ඒ නිසා උද්ඝෝෂණය කරනවා. පෙළපාලි යනවා. පා ගමන් යනවා. මහ මැතිවරණය නිමාවෙලා අවුරුද්දයි මේ ආණ්ඩුවට. ඒ සටන් පාඨ හොඳයි මැතිවරණයක් තියෙන කාලේ.

අලූතෙන් ආණ්ඩුවක් පත්වුණාම සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා රට සහ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය දැක්වීම. විවේචකයෝ විවේචනය කරපුවාවේ. දැන් තිබෙන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳපුවාවේ. තමන්නාන්සේලා අපි සියලූ දෙනාම වැඩ කරමු, රට නගමු, රට ගොඩගනිමු කියලා මම ඉල්ලා සිටිනවා.

අපි අපේ රට කඩනවා කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට තිබෙන තැන අහිමිකරනවා කියලා කියනවා. ඉන්දියාවට ඇමරිකාවට රට පාවලා දෙනවා කියනවා. උතුරේ හමුදා ඉවත්කරනවා කියනවා. බුදු පිළිම හදන්න දෙන්නේ නැහැයි කියනවා. මේ කියන ඕනෑම කෙනෙකුට බොහොම කරුණාවෙන් මම ආරාධනා කරනවා ඇවිත් මාව හමුවන්න ඒ කියන දේවල් කොහෙද සිද්ධ වෙන්නේ කියලා මට කියන්න කියලා.

අපේ අතීත ශ්‍රේෂ්ඨත්වය ආරක්ෂා කර ගනිිමින් අපේ රට ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත්කරගෙන යාමේ කාර්යයයි මේ අපි කැපවීමෙන් සිදුකරන්නේ. මම ගොවි ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත් ඒ ප්‍රශ්න අත්විඳි කෙනෙක්. වාරිමාර්ග අමාත්‍යාංශයත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් මහවැලි අමාත්‍යාංශයත් එස්.බී. දිසානායක ඇමතිතුමාගේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයත් එකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.

2017 වසර දුගී බවින් නිදහස් වීමේ වසර ලෙස අපි නම් කර තිබෙනවා. ලබන මාසේ නොවැම්බර් මස 10 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියෙන් අපි ප්‍රමුඛත්වය දෙන්නේ මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. මේ රටේ ගොවි ආර්ථීකය ශක්තිමත් කරන්න, මේ රටේ තරුණ පිරිස නිෂ්පාදනයට දායක කරගන්න. භෞතික සම්පත් සංවර්ධනයට වඩා නිෂ්පාදන ක්‍රියාවලියට මුදල් වෙන් කරනවා.

මෙතන සිටිනවා පාසැල් දරුවන්. ඔබ සොයා බලන්න වසර කීයකට පසුවද පළාත් සභාවෙන් අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන් කළේ කියලා. මෙතන මධ්‍යම පළාත් මහඇමතිතුමා ඉන්නවා. ආණ්ඩුකාරතුමිය ඉන්නවා. පළාත් සභා ආරම්භ කළ දවසේ සිට කිසිම ආණ්ඩුවකින් මේ වසරේ තරම් අධ්‍යපනයට මුදල් වෙන් කරලා නැහැ. සමහර පළාත් අධ්‍යාපන ඇමතිතුමාලා ඇමතිවරුන්ගේ සාකච්ඡාවේදී මට කිව්වා අධ්‍යපානය වෙන් කරලා තිඛෙන මුදල් ප්‍රමාණය වැඩියි, ඒ නිසා වෙන දේවල් වලට මේ මුදල් පරිවර්තනය කර දෙන්න කියා.

මම එයාලගෙන් ඇහුවා ඇයි වැඩියි කියන්නේ කරන්න වෙන දේවල් නැද්ද කියලා. මම එයාලට පෙන්නුවා වෙන් කළ මුදලින් මෙන්න මේ දේවල් කරන්න කියලා. රටක් ගොඩනගන්න කළ යුතු හොඳම ආයෝජනය වන්නේ තරුණ පරපුරට අධ්‍යපනය ලබාදීමයි. රට වෙනස් කරන්නේ දේශපාලනඥයෝ නෙවෙයි. අධ්‍යාපනය තුළ රට වෙනස් කළ හැකියි. ඒ නිසා අධ්‍යාපනයට අපේ ආණ්ඩුව ප්‍රමුඛතාවය දී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න, කෘෂිකර්මාන්තය වර්ධනය කරන්න පසුගිය වසර ගණනාවකට වඩා අපි මුදල් වෙන් කර තිබෙනවා.

ඒ නිසා අනාගත ඉලක්ක සම්පූර්ණ කර ගනිමින් අපේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට අපි කැපවී ක්‍රියා කරනවා. අනුරාධ ජයරත්න ඇමතිතුමා මේ ප්‍රදේශයට අලූුතෙන් පත්වුණේ. එතුමා මා සමග පැවසුවේ මේ ප්‍රදේශයේ සියයට අනූනවයි දශම නවයක්ම ඉන්නේ ගොවි ජනතාව, ඒ අයගේ ජීවිත ඉතා කටුකයි, ගම්පොළ තිබෙන ආර්ථීක පදනමට වඩා වෙනස් මේ ප්‍රදේශය, ඒ නිසා වැඩි වැඩ කොටසක් කරන්නයි මම මේ ප්‍රදේශයට ආවේ කියලා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සහයෝගය දක්වන අනෙකුත් ප්‍රශ්න එකතුවී සම්මුතිවාදී ආණ්ඩුවක් හරහා මේ වැඩකටයුතු කරගෙන යනවා. සම්මුතිවාද ආණ්ඩුවක අත්දැකීම මේ රටේ දේශපාලනඥයින්ට, රාජ්‍ය සේවකයන්ට, ජනතාවට මීට පෙර නොලැබූ අත්දැකීමක්. ඒ නිසයි සමහර අය ආණ්ඩුව හෙට වැටෙනවා, අද වැටෙනවා කියන්නේ. නමුත් අපි ඉතා ශක්තිමත්ව ඉදිරියට යනවා. අපිට පැහැදිලි වැඩ පිළිවෙළක් තිබෙනවා. පැහැදිලි ගමනක් තියෙනවා. පැහැදිලි ඉලක්ක සහගත අරමුණු තිබෙනවා.

අපේ ප්‍රධාන සම්පත දරුවන්. ජනතාවගේ සහ දරුවන්ගේ අනාගතය සඳහා ආණ්ඩුවක් විසින් කළ යුතු වගකීම අපි ඉටුකරනවා. ඔබේ ගොවි සංවිධානයෙන් මා වෙත දුන් සන්දේශයේ තිබූ කරුණු ඉටුකිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඔබේ අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන බවත් මා අවසන් වශයෙන් සඳහන් කරන්නට කැමතියි.

LEAVE A REPLY