ඉදිරි වසර 04 තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහනුවර, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික් ඇතුළත් වන පරිදි  සංවර්ධන කලාපයක් ඇති කරන බවයි.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්නේ ඉදිරියට යන්න හිතන අයයි. හොරකම් කරන අය ඉන්නේ අලිබබා සහ හොරු හතලිහ සමගයි. අද මේ රටේ තිබෙන වෙනස ඒකයි. ඉතාම දුෂ්කර යුගයක මේ රට බේරා ගන්නට අපි කටයුතු කළා. මේ රටේ ජනතාවට විශේෂයෙන්ම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිවූ, මර්දන යුගයකදී, මල්වතු විහාරය විනාශ කරන බවට ප්‍රකාශ කළ අවස්ථාවකදී, යුද්ධය ජයග්‍රහණය කළ සරත් ෆොන්සේකා මහතා සිරගත කළ අවස්ථාවකදී, මේ රටේ නිදහස් අධ්‍යාපනය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9 කට කප්පාදු කළ, මේ රටේ සෞඛ්‍ය සේවය කප්පාදු කළ, රටේ තරුණ තරුණියන්ට රැකියා නොතිබූ අවස්ථාවකදී එමෙන්ම ජනතාවට බඩු මිල වැඩි වූ අවස්ථාවකදී, මේ රටේ සෑම දෙයකින්ම සොරකම් කළ අවස්ථාවකදී, මේ රට බේරා ගැනීම සඳහා අප සියලූ දෙනාම ඒකරාශී වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂකයකු බවට පත් කරලා, එක්සත් ජාතික පක්‍ෂය, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සමාජ, මහා සංඝරත්නය, කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු පූජකවරු ඇතුලූ වෘත්තීය සමිති ඒකාබද්ධව 2015 දී ජනාධිපතිවරණයේදී අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපති බවට පත් කොට යහපාලනයක් ස්ථාපිත කළා.

අපි ඉල්ලූවේ දින 100 යි. 19 වැනි සංශෝධනයෙන් පසුව අපි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා.  විධායක ජනාධිපති බලතල සීමා කළා. දුක්විදින ජනතාවට සහන ලබා දුන්නා. තෙල් මිල, බඩු මිල අඩු කළා. පඩි වැඩි කළා. ඒ සහන ලබා දීමෙන් පසුව අපි මහ මැතිවරණයකට ඉදිරිපත් වුණා. ඒ ඡන්දයෙන් පසුව මේ රටේ ප්‍රශ්න දිහා අවධානය යොමුකොට අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. අපි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, අනෙකුත් පක්‍ෂත් එකතු වෙලා ඒ ජාතික ආණ්ඩුව ඇති කළා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයකට ගියේ ඔහුට රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම නිසයි. එම ආණ්ඩුව කඩා වැටෙයි කියා ඔහු හිතුවා. අපි ආණ්ඩුව අරගත්තේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවන්නයි. මුදල් නැති, අනාගතයක් නැති, ලෝකයට කොන්වුණ රටක් හදන්නට පළමු අවුරුද්ද ගත වුණා. ඇත්ත වශයෙන්ම මැයි මාසය වන විට අවුරුද්දක් උවමනා වුණේ නැහැ. අපි අපේ වැඩ කටයුතු හරියට කළා. අනාගත මාර්ගයක් පෙන්වා දුන්නා. අයි.එම්.එෆ් එකෙන්, ඉන්දියාවෙන්, ජපානයෙන්, චීනයෙන් අපට ණය ලබා දී තිබෙනවා. අපි ඒ අනුව රජය ගෙන යනවා. අමාරු වෙන්න පුළුවන්. ඒත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල වැඩි නොකර ඉදිරියට යාම සඳහා අපි අධ්‍යාපනයට 2.9% ක් ලබාදී තිබෙනවා.
ආර්ථිකය ස්ථාවර කරන්නේ නැතිව සංවර්ධනයට යෑම අපහසුයි. දැන් සංවර්ධනයට යෑම සඳහා අප සැලසුම් හදාගෙන තිබෙනවා. මූලිකත්වය ලබාදී තිබෙන්නේ අධ්‍යාපනයටයි. මැතිවරණයට පෙර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන් පාසැලින් ඉවත් නොකර පාසලේම රඳවා ගෙන දිගටම ඒ අයට අධ්‍යාපනයක් ලබාදිය යුතු බව මම අධ්‍යාපන ඇමැතිතුමාට දන්වා තිබෙනවා. අලුත් පාසල් ආරම්භ කළායින් පසු ඒ සඳහා ගුරුවරු බඳවා ගත යුතුව තිබෙනවා. පාසල් ගොඩනැගිලි සෑදිය යුතුයි. ඒ අන්දමින් අධ්‍යාපනය දියුණු කරන්නට අප කටයුතු කරනවා. මේ ළමයින් පාසලෙන් පිටවන විට ඔවුන්ට ඉංග්‍රීසි, ගණිතය ඉගැන්වීම සඳහා පාසලේ ගුරුවරුන් සිටිය යුතුයි. තමන්ගේ දක්‍ෂකම තිබෙනවා නම් හැකිතාක් දුර යා හැකියි. නිදහස් අධ්‍යාපනය අනුව දුප්පත් පොහොසත් සැමට දක්‍ෂකම තිබේ නම් ඉදිරියට යා හැකියි. අපිත් මෙතැන සිටින සියලූ දෙනාම ආවේ එහෙමයි. එය ආරක්‍ෂා කළ යුතුයි. එය නැති කළ අපරාධය තමයි රාජපක්‍ෂලා කළේ.

ඊළඟට අපි විශාල සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සංවර්ධන වැඩසටහනට වඩා විශාල එකක්. එදා මහවැලිය, වෙළෙඳ කලාප, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, හැඳුවා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කළා. අපි දැන් පටන් ගන්න වැඩ සටහනට මහනුවර, කොළඹ, කුරුණෑගල, හම්බන්තොට දක්වා විශාල සංවර්ධන තීරුවක් ඇතුළත් වනවා. දැනට මේ කලාපයේ ඇත්තේ එවැනි එකම සංවර්ධන වැඩසටහනකුයි. එනම් දිල්ලි, මුම්බායි සංවර්ධන තීරුවයි. අපේ මේ සංවර්ධන තීරුවේ වරායවල් දෙකක් තිබෙනවා. ගුවන් තොටුපොළවල් දෙකක් තිබෙනවා. එදා මාළු ඇල්ලූ හම්බන්තොට වරාය අපි චීන සමාගමක් සමග සාකච්ඡා කොට නැව්වලින් පුරවන්න යනවා. අර මහ රජතුමාගේ කටවුට් තිබුණු වරායේ ඒවා ඉවත් කර ඉදිරි වසර තුනේදී තෙල් පිරිපහදු තුනක් ආරම්භ කරන්නටත් නැව් තටාකාංගනයක් ඉදිකරන්නටත් සාකච්ඡා කොට තිබෙනවා. එන්.එම්.ජී. විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සාකච්ඡා කොට තිබෙනවා.

කුරුල්ලෝ ආපු මත්තල ගුවන් තොටුපොළට දඬු මොණර යන්ත්‍රයක්වත් ආවේ නැහැ. අපේ වැඩ සටහනට අනුව ඉදිරියේදී මගීන් ලක්‍ෂ 10 ක් යන එන තැනක් බවට මෙය පත් වනවා. සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදීමට සිදුව තිබෙනවා. එහි කර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්නවා. චීන සමාගම් විතරක් අක්කර 15,000 ක් ඉල්ලා තිබෙනවා. සමහරු හිතනවා ඇති අපි හම්බන්තොට යන්නේ ඉඩම් ගන්නට ද කියලා. ගාල්ල, මාතර පළාතේ ධනවත් සංචාරකයින් පැමිණෙන සංචාරක වැඩසටහන් ආරම්භ කරනවා. ඒ කාලේ වගේ විදේශික කාන්තාවන් දූෂණය කිරීමේ කටයුතු අපෙන් කෙරෙන්නේ නැහැ. එහෙම ප්‍රාදේශීය සභා සභාපතිවරු අප ළඟ නැහැ. මහනුවර විශාල නගරයක් බවට පත් කිරීමේ කටයුතු ජපානය භාරගෙන තිබෙනවා. පේරාදෙණියේ සිට පල්ලේකැළේ සහ කුණ්ඩසාලය දක්වා. ඒ අවට කර්මාන්තශාලා බිහි වෙන නිසා මාතලේ වැනි ප්‍රදේශ දියුණුවට පත් වනවා. අනෙක් පැත්තෙන් දඹුල්ල සංචාරක නගරයක් ලෙස විශාල ලෙස දියුණු වෙනවා. කොළඹ සිට නුවරට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවෙනවා. එහි අන්තිම කොටස, පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් කරන්නේ ජපන් සමාගමක් විසින්. ඒ මාවත යන්නේ නගරය මැදින්. නගරයේ අවසන් වන්නේ මහනුවරින් නොව පල්ලේකැලෙන්. ඒ මාර්ගය යන්නේ මාවතගම හා රඹුක්කනින්. රත්නපුර පළාතේ ඉඩම්වල වටිනාකම මෙන් මැණික් නැතුව මේ පළාතේත් ඉඩම්වල වටිනාකම වැඩි වනවා. අනෙක් පැත්තෙන් මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා යනවා. ජීවත්වීම සඳහා දැන් තිබෙන හොඳම තැන කුරුණෑගල නගරයයි. දැන් ඇත්තේ් එය සැලසුම් කිරීමයි. මම කුරුණෑගල නගරයෙන් පාසල් දෙකක් ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් කොටස් දෙකක් ඉල්ලූවා. අවශ්‍ය එපමණයි. එහි විශාල නගරයක් බිහි වෙනවා.

එකපැත්තකින් මහනුවර, අනෙක් පැත්තෙන් කුරුණෑගල, අනෙක් පැත්තෙන් දඹුල්ල. ඒ ත්‍රීකෝණය තුළ විශාල දියුණුවක් ඇති වීමට නියමිතයි. දැන් මාවතගම, කුරුණෑගල, හිරියාල සහ දොඩංගස්ලන්ද ප්‍රදේශවල හෝටල් ඉදිකිරීම සඳහා ජනතාව මේ පළාත්වලට ඒවි. ඒවාට අපි ඉඩම් සොයා දෙන්නම්. කර්මාන්ත කලාප ගණනාවක් තිබෙන නිසා විශාල රැකියා සංඛ්‍යාවක් බිහිවේවි. මේ පැත්තෙන් කුලියාපිටිය සිට පන්නල දක්වා තවත් කර්මාන්ත තීරුවක් බිහි වනවා. වෝක්ස් වැගන් කර්මාන්තශාලාවේ වැඩ කටයුතු සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනවා. අනෙක් පැත්තෙන් ඉරණවිල විශාල සංචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක වනවා. කල්පිටියේ ධීවර ගම්මාන දියුණු වනවා. මම වාරියපොළ ගැන කතා නොකළේ අමාත්‍යවරයාත්, ආණ්ඩුකාරවරියත් ඒ ගැන අවධානය යොමු කර ඇති නිසයි. මේ දියුණුව සමග සත්කෝරළයේ රැඳී සිටින ලෙස මම ඉල්ලා සිටින්නට කැමැතියි. පඬුවස් නුවරත් සත්කෝරළයට ඇතුළත් වනවා. අපි මේ වැඩ සටහන අනුව ටිකෙන් ටික ඉදිරියට යා යුතුයි. අප මේ සියලූදේ සිදු කළේ සොරකම් නොකළ නිසයි.
ඊළඟට බස්නාහිර මහනගර වැඩසටහන තිබෙනවා. බස්නාහිර පළාතම දියුණු කරන්නේ සිංගප්පූරු රජයේ සහයෝගය ඇතිවයි. දැනටමත් ඔවුන් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. කොළඹනගරයේ පිරවීම සඳහා කටයුතු කළ ස්ථානය (ෆෝර්ට් සිටිය නොවේ) අපි මුදල් නගරයක් කරමු. සිංගප්පූරුවත්, ඩුබායි අතර මුදල් ගනුදෙනු කිරීම සඳහා නගරයක් නැහැ. එතැන සිට අවශ්‍ය නම් ඩොලර් දහසක් හෝ දෙදහසක් උපයා ගත හැකියි.  ඕනෑම කෙනෙකුට තමන්ගේ දක්‍ෂතාව අනුව එසේ කළ හැකියි.

ඊළඟට දකුණේ සංවර්ධනය පටන් ගන්නවා. ගාල්ල සහ මාතර. ඉන්පසු හම්බන්තොට සහ වැල්ලවාය දක්වා එය දිව යනවා. මේ අනුව සංවර්ධනයට විශාල තීරුවක්  එක්වෙනවා. ඒ සමගම ත්‍රීකුණාමලය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සිංගප්පූරුව සමග සාකච්ඡා කරමින් සිටිනවා. චීනයෙන්, ජපානයෙන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් එනවා. ඒ නිසා ශ්‍රී ලංකා වෙළෙඳ පොළෙන් මෙය දියුණු කිරීමට බැහැ. අපි චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ආරම්භ කරන්නේ ඒ නිසයි. සිංගප්පූරුවත් සමග ඇති කරන වෙළෙඳ ගිවිසුමෙන් අපට ලෝකය හා එක්වෙන්න පුළුවන්. ඉන්දියාව සහ යුරෝපීය සංගමය සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගන්නේ ඒ නිසයි.
අපට තිබෙන්නේ රැකියා මාර්ග ඇති කර ගැනීමයි. අනෙකුත් අය ඇවිත් ස්වයං රැකියා, ධීවර රැකියා, සංචාරක මගපෙන්වන්නන් ලෙස රැකියා කරාවී. අපට අවශ්‍යව ඇත්තේ ජනතාව ජීවත් කරවීමේ මාර්ගයි. අපේ ණය ගෙවන්නට පුළුවන් ආර්ථිකයක් අපි ඇති කළ යුතුයි. මෙම රැකියා මාර්ගවලින් මුදල් උපයන විට ඒවායින් බදු අය කොට අපේ ණය පියවිය යුතුයි. අපි ඉල්ලන්නේ මේ දියුණුව ඇති කර ගන්නා ලෙසයි.

රටේ අලූත් ව්‍යවස්ථාවක් ඇති කර ගත යුතුයි. ජනතාව අපට අවුරුදු 5 ක වරමක් දුන්නා. ඒ වරමෙන් එක අවුරුද්දක් ගෙවී අවසන්.  ඒ වරම අනුව ඉතිරි අවුරුදු 4 තුළ අප දුන් පොරොන්දු සියල්ල ඉටු කරන බව මා මෙහිදී කියන්නට කැමැතියි. මේ පිළිබඳව අපට දොස් පවරන්න පුළුවන්, ඒක සාමාන්‍ය ස්වභාවයයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියක්. නමුත් අපට දුන් වරම හොරකම් කර ගන්නට දෙන්නේ නැහැ. අපි හොරකම් නොකළ නිසා අපි මේවා දියුණු කළා කියලා අපට කියන්න පුළුවන්.

අපි ඇවිත් අවුරුද්දකින් ආර්ථිකය ස්ථාවර කොට මේ කටයුතු කරන්නට අපට හැකි වුණා නම් මහින්ද රාජපක්‍ෂ අවුරුදු 10 ක් රට පාලනය කරලත් ඔහුට මේ දේවල් කරන්නට බැරි වුණේ ඇයි? මොකක්ද හේතුව? දැන් හදන්නේ මේ වරම හොරකම් කරන්නටයි. මේ ආණ්ඩුව පන්නලා හොරකම් කරන්න ඉඩ දෙන්න කියලා අලිබබායි, හොරු හතලිහයි කියනවා. ඔවුන් ඉල්ලන ඉල්ලීම් ගණනාවක් තිබුණත් එහි ඇත්තේ එක පොදු ඉල්ලීමක් පමණයි. හොරකම් කළ අයගෙන් දේශපාලන පළිගැනීම් කරන්නේ නැතිව ඔවුන් හිරෙන් එළියට දාන්න කියන ඉල්ලීමයි. අපට සම්පූර්ණයෙන්ම හොරකම් කිරීමේ අයිතිය ලබා දෙන්න කියන පොදු ඉල්ලීමයි. එම ඉල්ලීම ඉෂ්ඨ කරන්න ඔබ තුමන්ලා ලෑස්ති ද? හොරකම් කළ නිසා මේ එකක්වත් කරන්න ඔවුන්ට බැරිවුණා. අපි හොරකම් නොකරන නිසා මේ කටයුතු අවුරුද්දකින් පටන් ගත්තා. ඔවුන් කියන්නේ අපට අවශ්‍ය රට සංවර්ධනය කිරීම නොව හොරකම් කිරීම පමණක් බවයි.

ඔවුන් තුළ ඇත්තේ එක ඉල්ලීමයි. දේශපාලන පළිගැනීම් කරන්න එපා කියන ඉල්ලීමයි. දේශපාලන පළිගැනීම් කරන්නේ කොහොමද? මේ රජයේ එක්සත් ජාතික පක්‍ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේයි දෙකේම අය ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පළි ගන්න ගියොත් ඒ ඇමැතිවරු කෑගහනවා. එක්සත් ජාතික පක්‍ෂයෙන් පළිගත්තොත් අපි කෑගහනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් පළිගන්නේ කොහොමද? ඒ අය පාර්ලිමේන්තුවේදී කෑගහනවා. පළිගන්නේ කාගෙන් ද? හොරකම් කළ අය හිරේ දානවා කියන්නේ පළි ගැනීමක් ද?

දැන් අපට ගන්න තිබෙන තීරණය හොරකම් කරන අයට ඉඩදීලා අපි දුක්විදිනවා ද එහෙම නැත්නම් අපි ඒ අයට දඬුවම් දීලා රටේ සංවර්ධන කටයුතු කරනවා ද යන තීරණයයි. අපි මෙය ආරක්‍ෂා කරගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය හැමෝටම තිබෙනවා. නමුත් හොරුන්ට මේ රටේ තැනක් දෙන්නට බැහැ. හොරකම් කිරීමේ අයිතිය දෙන්නට බැහැ. අවශ්‍ය නම් නිත්‍යානුකූලව මුදල් ඉපැයීමේ අයිතිය සෑම දෙනාටම ලබා දෙන්න අපි කැමැතියි. අන්න ඒ නිසයි ඉදිරියට යන්න හිතන අය සියල්ලෝම එක්සත් ජාතික පක්‍ෂය වටා එක් රැස්වී සිටින්නේ. දැන් අපේ පක්‍ෂයට අවුරුදු 70 යි. දැන් මේ පක්‍ෂය නවීකරණය කළ යුතුව තිබෙනවා. ඊළඟ ඡන්දයට අවුරුදු 4 කින් ලෑස්ති වෙන්න තිබෙනවා. අලූත් අලූත් ක්‍රමවේදයන් තිබෙනවා. පටන් ගත් ආකාරයට ගෙයින් ගෙට යන්න තිබෙනවා.
අපි පටන් ගත්ත කාලයේ දවස් දෙකක් බත් කන්න බැහැ. අපේ කාර්වලට අවුරුද්දට ලැබුණේ ටයර් දෙකයි. නමුත් වාහනයට රෝද හතරක් තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් ඕනෑ වෙලාවක ජංගම දුරකතනය ගන්නවා, එස්.එම්.එස්. පණිවුඩ එවනවා. ඇප් එකක් තිබෙනවද බලනවා. දැන් දේශපාලනයේ තිබෙන්නේ එවැනි තත්ත්වයක්. තව අවුරුදු 10 ක් යන විට ශාඛා සමිති කැඳවන්නවත් බැරි වේවි. ගෙදර ඉදගෙන ජංගම දුරකතනයෙන් එක එක්කෙනා කියන දේ කරාවි. අද ලෝකය වෙනස් වෙලා. එදා රූපවාහිනිය තිබුණේ නැහැ. අද සෑම නිවසකම රූපවාහිනී යන්ත්‍ර තිබෙනවා. නැති කෙනෙක් නැහැ. හොරකම් කරන කොට හිරේ දාන එකත් පෙන්වනවා. රිමාන්ඩ් එකෙන් එළියට එන එකත් පෙන්වනවා.

අපි අපේ දේශපාලනයට අනුව මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමු. අපේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හොඳ වුණොත් මේ තරුණයන් තව අවුරුදු 95 ක් නැත්නම් 100 ක් ජීවත් වේවි. මේ තරුණ පරපුරට ඉතා හොඳ ප්‍රදේශයක ජීවත්වීමේ අවස්ථාව සාදා දීමට අපට පුළුවන් වේවි.

මෙම උත්සවය සංවිධානය කළ අලවතුවල මන්ත්‍රීතුමා ඉතා දක්‍ෂ මන්ත්‍රීවරයෙක්. අපි එතුමාගේ පියාත් එක්කයි පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ආවේ. අද පුතාත් ඉන්නවා. ලංකාවේ ප්‍රධාන කොටසක් දියුණු කිරීමේ වගකීම එතුමාට පැවරී තිබෙනවා. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩකටයුතු කරන්න මම වෙනම වගකීමක් එතුමාට ලබා දී තිබෙනවා. අපි සියල්ලෝම එකතු වෙලා මේ හොරකම නැති කරලා මේ රටේ සංවර්ධනය කොට ඉදිරියට යන්න ඉන්න හිතන අය ඉන්න එක්සත් ජාතික පක්‍ෂය නවීකරණය කොට අපේ ජය තහවුරු කරන්නට 70 වන සංවත්සරයේදී එකතු වන ලෙස සෑම දෙනාටම ආරාධනා කරනවා.

LEAVE A REPLY