ඇතැම් ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කරන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තනි මතයට නොවන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනූව එය සිදුකරනවා හැර ජනපතිට අභිමත පරිදි සංවිධායකවරු ඉවත් නොකරන බවයි.

ජාතික ආණ්ඩු සංකල්පය ද මධ්‍යම කාරක සභාවේ තීරණයක් යැයි  ඔහු පෙන්වාදුන්නේය.

කෙසේ හෝ එජාප ඡන්දවලින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වේයැයි කිසිසේත් නොසිතු බවද පැවසූ ඒ  මහතා පුද්ගලික කාරණා උඩ තීරණ ගෙන ශ්‍රීලනිපය දෙකඩ නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද  එහිදී ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුව ඇමතු අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය, දුෂ්‍මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ කුරුණෑගල දී පැවැත්වෙන ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට උතුරු නැගෙනහිරින්ද ජනතාව එන බවයි.

බස් රථ 2000ක් පමණ සංවිධායකවරුන් විසින් ඉල්ලා ඇති බවද, කියා සිටි‍ ඒ මහතා ජාතිවාදී පක්ෂ නිසා ශ්‍රීලනිපයට සිදුව ඇති හානිය තම තමන්ම දැන් ගණන් හදා බැලිය යුතු බවද පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුව ඇමතු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පැවසුවේ  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයේ ස්වර්ණම යුගය දැන් උදාවී ඇති බවයි.

ශ්‍රීලනිපයේ විශිෂ්ටතම පක්ෂ සම්මේලනය මෙවර කරුණෑගලදී පවත්වන බවද ඊට හොඳ හැටි සියල්ල සුදානම් බවද හෙතෙම කීවේය.

LEAVE A REPLY